gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය අයින් කරන්න! වෙන කෙනෙක්ව ජනාධිපති කරන්න! එහෙම නැතිව යන්න බෑ…! චන්ද්‍රිකා යළිත් වරක් රාජපක්ෂවරුන්ට එරෙහි සටනට එළියට බහී!

මෙරට මැතිවරණ ඉතිහාසයට නව වාර්තා එක්කරමින් විධායක ජනාධිපති ධුරයට පත් ලොව ප්‍රථම කාන්තාව බවට පත්වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය. සක්‍රීය දේශපාලනයෙන් ඈත්ව සිටියත් වත්මන් දේශපාලන ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ඇය, පසුගියදා සුවිශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා. ඒ, සිරස රූපවාහිනියේ 10 Questions වැඩසටහන සමග. වසන්ත මාසිංහගේ මෙහෙයවනු ලැබූ එම සාකච්ඡාවෙදි හිටපු ජනාධිපතිනිය, රාජපක්ෂවරුන් සහ තවත් දේශපාලන ප්‍රබලයන් රැසක් පිළිබඳ මෙතෙක් මාධ්‍ය වෙත හෙළි නොකළ තොරතුරු රාශියක් හෙළිදරව් කරනවා. එම හෙළිදරව් ඇතුළත් සාකච්ඡාව අප මෙලෙස ‘මව්රට’ පාඨක ඔබට ඉදිරිපත් කරන්නේ එදා මෙදාතුර දේශපාලනයේ අඳුරු පැතිකඩ රාශියක් නිරාවරණ කරන්නට දරන උත්සාහයක් ලෙසින්.

මේ දවස්වල ඔබතුමිය මොකද කරන්නේ?

පහුගිය අවුරුදු දෙකහමාරෙ මම දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා හිටියේ. නමුත් මොනවද වෙන්නේ කියලා කොයි වෙලාවෙත් උනන්දුවෙන් බලාගෙන හිටියා. නමුත් රටට පහුගිය අවුරුදු දෙකහමාරෙම සිදුවුණු ඇබැද්දිය හුඟ දෙනකුට වඩා අපිට තේරුණා. දේශපාලනය කරලා මේ ගේම ගහලා තියෙන නිසා. අපි දැක්කා මේක ඉතා භයානක තැනකට තල්ලුවෙමින් යන්නේ කියලා. විශේෂයෙන්ම ආර්ථිකය සහ රාජ්‍ය පාලනය. රාජ්‍ය පාලනය දුර්වලයි. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. ඒකට මුකුත් කළේ නෑ, බලාගෙන හිටියා. හැබැයි ඒවා නිසාම දැන් පුපුරලා ඉවරයි.

පහුගිය අවුරුදු දෙකහමාරෙ ඔබතුමිය දේශපාලනයෙන් අයින් වෙලා හිටියෙ ඇයි?

දේශපාලනයෙන් මම සම්පූර්ණයෙන් අයින් වෙලා ඉන්නේ දැන්. ඇක්ටිව් දේශපාලනයට ආයෙත් එන්නෙ නෑ. මට දැන් අවුරුදු 75ත් පැනලා. පුළුවන් තරම් මං කෙරුවා. තුන් වතාවක් රට වැටිලා තිබුණු වෙලාවෙ රට සහ අපේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටිලා තිබුණු වෙලාවෙ මම බෙල්ල දීලා ඇවිල්ලා ඒවා ගොඩ ගත්තා. මම විතරක් නෙවෙයි. අපි හුඟ දෙනෙක් ඒකට එකතු වුණා. මම නායකත්වය දුන්නා. බෑ කියද්දී හැම සැරේම මාව ඇදගෙන ආවෙ 20015 අන්තිම සැරේ. 1994 මම රට ගිහින් හිටියේ. විජේව මරලා, මාවත් මරන්න ඉන්නකොට. නමුත් ආයෙත් මාව ඇදගෙන ආවා එක එක්කෙනා ගිහිල්ලා. ඒ ආපු එක ගැන මම බොහොම සතුටු වෙනවා. මොකද විශාල වැඩ කොටසක් මට කරන්න පුළුවන් වුණා. ආර්ථිකය විශාල වශයෙන් ගොඩනැගුවා. යුද්ධය වෙනුවට සාමය ස්ථාපිත කරන්න පුළුවන් වුණා. යුද්ධෙන් තුන් කාලක් දිනලා මම ගෙදර ගියේ. ව්‍යවස්ථාව ගේන එක විතරයි මට කරන්න බැරි වුණේ. හැබැයි පළමු වතාවට සාමය කියන වචනය දේශපාලන ශබ්දකෝෂයට ඇතුළු කරලා මිනිස්සු ලැජ්ජාවක් බයක් නැතුව ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් සටන් කෙරුවා. ආපහු යහපාලනය ගෙනාවා. වැදගත් ක්‍රමයට රට පාලනය කරන විධි හැදුවා. මගේ ඒ අවුරුදු 11 ගැන මම බොහොම සතුටු වෙනවා. ඒ ටිකේ මම කරපු වැඩ නිසා තමයි මහින්ද රාජපක්ෂට අවුරුදු 09ක් මුකුත් වැඩක් කරන්නෙ නැතුව බලයෙ ඉන්න පුළුවන් වුණේ. මුකුත් කෙරුවෙ නෑ කියන එකත් වැරැදියි. විශාල වශයෙන් දූෂණය කෙරුවා. ඒ කට්ටිය සහ ඒගොල්ලන්ගෙ ගෝලබාලයො. අන්තිමට රාජ්‍ය සේවකයොත් වැඩි දෙනෙක්ව හොරු බවට පත් කළා. ඒවායෙ පල විපාක තමයි අපි අද විඳින්නේ.

ඒකද මේ බලාගෙන ඉන්නව කියලා කිව්වේ?

ඊට පස්සේ මම පැත්තකට වෙලා අවුරුදු 09ක් හිටපු කාලෙ 2015 මේක වෙනස් කරන්න එන්න කියලා, මාව ආයෙත් බලෙන් ඇදගෙන ආවා. ඔක්කොම පක්ෂ ටික එකතු වෙලා. පස්සේ සන්ධානෙ හදන්න මම උදව් කරලා, නායකත්වය අරගෙන දෙන්නෙක් බලයට ගෙනාවා. ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම වැඩේ කරන්න බැරි වුණා. මම ඒවට හේතු විග්‍රහ කරන්න යන්නෙ නෑ. හුඟ දෙනකුට සිහින රාශියක් තිබුණා. පළමු වතාවට රටේ දේශපාලන පක්ෂ ඔක්කොම එකතු කරලා රාජපක්ෂලගෙ කණ්ඩායම ඇරෙන්න දෙමළ මුස්ලිම් පක්ෂත් අපට සහාය දුන්නා. ජේ.වී.පී. එක එළියෙ ඉඳගෙන සහාය දුන්නා. පළමු වතාවට එහෙම සන්ධානයක් ඇතිවුණේ. පිටරට ඉන්න මම හඳුනන රාජ්‍ය නායකයො මට කිව්වා ඕගොල්ලේ මේ කරලා තියෙන්නේ ප්‍රාතිහාර්යයක් කියලා. හැමෝම එකතු කරගෙන ප්‍රධාන පක්ෂ දෙකත් එකතු කරලා ආණ්ඩුවක් හදන එක ප්‍රාතිහාර්යයක්, ඒක කළේ කොහොමද කියලා අපට කියන්න කියලා ඒ අය කිව්වා.

ඔබතුමියද ඒකෙ මහමොළකරු?

නෑ, මොළ කිහිපයක් තිබුණා. හැබැයි මමත් නායකත්වයක් ගත්තා. මොකද මට වැඩක් කරන්න බෑ ඒකට සාර්ථක වැඩපිළිවෙළක් නැත්නම්. බොරුවට රාජපක්ෂලා පන්නන්න කියලා මුකුත් කරන්න මට කිසිම අවශ්‍යතාවක් නෑ. පැන්නුවට පස්සේ මොකක්ද කරන්නේ කියලා වැඩපිළිවෙළක් තියෙන්න ඕනෙ. මම අවුරුදු තුනක් තිස්සේ ටීම් එකක් එක්ක වැඩපිළිවෙළක් හැදුවා. අපි බලයට ආවට පස්සේ මෙන්න මෙහෙමයි රට හදන්නේ කියලා. එව්වා ඔක්කොම පැත්තකට වීසි කෙරුවා අපි බලයට ගෙනාපු කට්ටිය. වෙන පිස්සු නටලා ඉවර වෙලා කෑවා. ඊට පස්සේ මට තේරුණා 2016, 2017 වෙද්දී දැන් දෙපැත්තෙම ඉන්න දේශපාලනඥයො එක්ක රට හදන්න බෑ කියලා.

හැමෝම ගැනම ද ඔබ කියන්නේ?

අතළොස්සක් හැර.
දැන් පාරෙ ඉන්න ළමයි කියන්නෙත් ඒකමයි. මම ඒක 2017දී මගේ කිට්ටුව ඉන්න හැමෝම එක්ක කිව්වා. අන්තිමට මංගලත් ඒක පිළිඅරගෙන, මංගලත් දේශපාලනයෙන් අයින් වෙලා මට ඇවිල්ලා කිව්වේ අපි අලුත් තරුණ කණ්ඩායමක් හදමු කියලා. ඒක එක පැත්තකින් මම පටන් ගත්තා, අනිත් පැත්තෙන් එයා පටන් ගත්තා. ඒ කියන්නේ පක්ෂ හදන්න නෙවෙයි. තරුණ නායකත්වයක් මේ රටට ගොඩනගන්න. දැනටත් මගේ ඒ වැඩපිළිවෙළ යනවා. දැන් ඉන්න කට්ටිය එක්ක නම් බෑ. කුණුවෙලා ඉවරයි. ඔන්න දැන් ආපහු ගිහින් කැබිනට් එකක් පත්කරලා. ඔක්කොම හොරකම් කරපු අයනෙ. එක්කෙනෙක් දෙන්නෙක් හොරකම් නොකරපු අය ඇති. හැබැයි වැඩ කරන්න බෑ. ඉතින් මේගොල්ලො එක්ක නම් මම ආයෙත් මහන්සි වෙන්නෙත් නෑ. මටත් දැන් වයසයි. ඉස්සර වගේ මට දැන් වැඩ කරන්න බෑ. හැප්පෙන්න නම් පුළුවන්. ඒක මගේ ජානවල තියෙනවා. හැබැයි උවමනාවක් නෑ. මට තව හුඟක් දේවල් තියෙනවා ජීවිතේ කරන්න. මම කලාවට හරි කැමැතියි. කියවනවා, ලියනවා, පේන්ට් කරනවා, මගේ වත්ත දැන් හොඳට හදලා, ඒකෙන් හොඳ ආදායමක් ගන්නවා. යාළුවො හම්බවෙනවා.

යහපාලනය ගෙන ඒම ගැන කලකිරීමක් තියෙනවද?

විශාල කලකිරීමක් තියෙනවා. ගෙනාපු එක ගැන නෙවෙයි. ගෙනාපු එක ගැන මට සතුටුයි. අඩු ගානෙ වෙනසක් ඇති වුණා. ඒකෙන් පොඩි වාසියක් වුණා. රට කෑවෙ නෑ ඒ අවුරුදු පහට. හැබැයි කරන්න තිබුණු දේවල් කෙරුවෙ නෑ. මට තේරුණේ නම් ඉන්න මිනිස්සුත් එක්ක කරන්න බෑ කියලා. අලුත් නායක පරපුරක් මේ රටට ගොඩනැගිය යුතුමයි.

අලුත් සෙට් එකක් ගේන්න ඕනෙද?

ඔව්. ඔය පාරවල් ගානෙ කෑගහන ළමයිගෙන් හදලා ගම්මු. ඒක ඇතුළෙන් මොකක් හරි හොඳ දෙයක් වෙයි කියලා මම හිතනවා. අපිට පේන විදියට මේගොල්ලෙ කීයටවත් මේක අතහරින්නෙ නෑ. ඒගොල්ලන්ගෙ ඉල්ලීම් එන්න එන්න වර්ධනය වෙනවා. බොහොම මෝරපු අදහස් දක්වනවා, ඉල්ලීම් බොහොම ප්‍රායෝගික ඒවා. හැබැයි අද තියෙන ව්‍යවස්ථාව අනුව කොහොමද ඒක කරන්නේ කියන එක ලොකුම ප්‍රශ්නෙ.

ඔබතුමිය කිව්වා ප්‍රධාන දේශපාලන පක්ෂ එකතු කරන්න ගත්ත උත්සාහය රාජ්‍ය නායකයන්ගෙ ඇගයීමට ලක්වුණා කියලා. මේ වෙලාවෙ රට ගොඩනගන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු කරලා නායකත්වය දෙන්න ඔබ සූදානම් නැද්ද?

එකතු කරන්නේ කාවද? වැඩි හරියක් ඉන්නේ රට කාපු අයමනෙ. හැබැයි ප්‍රධාන දේශපාලන පක්ෂ මම එකතුවක් කළා. ඒවායෙ ඉන්නව හොඳ කීප දෙනෙක්. 11 වැනිදා අන්තිමට මට බලාගෙන ඉන්න බැරිම තැන කට්ටිය කියනවා මැඩම් රටේ නායකත්වය ගන්න එන්න කියලා. එහෙම නම් මොකක් හරි කරන්න කියලා මට කියනවා. පස්සේ මම සාකච්ඡා දෙකක් පැවැත්තුවා. බී.එම්.අයි.සී.එච්. එකේ එක් සාකච්ඡාවක් කළා. සිවිල් සමාජයේ ඉන්න සියලු වෘත්තීයවේදීන්, පෞද්ගලික අංශය, මාධ්‍ය ප්‍රධානීන්, ඇකඩමික්ස්ලා සහ එන්.ජී.ඕ. සමග ඒ සාකච්ඡාව කළේ. දැන් මේ තියෙන අර්බුදයට විසඳුම් මොනවද කියලා.

ඊළඟට සාකච්ඡාවක් පැවැත්වුවා වෙනම දේශපාලන පක්ෂ සමග. සියලු පක්ෂ විපක්ෂ කණ්ඩායම්වලට ආරාධනා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට ආවෙ නෑ. නියෝජිතයෙක්වත් එව්වේ නෑ. මම මේක කරනවා කියලා ලියුම ගියාට පස්සේ සිරිසේන ලහි ලහියේ කට්ටිය කැඳෙව්වා. ඒකට වැඩි දෙනෙක් ගියෙත් නෑ. ජේ.වී.පී. එක ආවෙත් නෑ. උත්තරයක් එව්වෙවත් නෑ. අනෙක් පක්ෂවලින් ආවා.

ආපු නැති පක්ෂ දෙකත් කැඳවගන්න උත්සාහ කරනවද?

ජේ.වී.පී. එකට කිව්වා. එයිද නැද්ද දන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ හුඟ දෙනෙක් මට වෙනම කතා කරලා කිව්වා සභාපති ලේකම් යන්න එපා කියනවා. හැබැයි මැඩම් අපිට පෞද්ගලිකව ඉන්වයිට් කළොත් අපි එන්නම් කිව්වා. ඉතින් මම කිව්වා එන්න කියලා.

මේ අර්බුදයට මුහුණ දෙන්න විපක්ෂය එකතු විය යුතුද, නැත්නම් වෙන වෙනම පුළුවන් වෙයිද?

අනිවාර්යයෙන් එකතු වෙන්න ඕනෙ. එක එක්කෙනා එක එක දේවල් කරලා වැඩක් නෑ. ජනාධිපතියි, අගමැතියි එල්ලිලා ඉන්නවා බලෙන්ම යන්නෙ නැහැ කියලා. මුළු රටම යන්න කියනවා. එහෙම නම් ලේ වැගිරීම්වලින් තොරව සාමකාමීව යවන්න නම් සියලු දෙනා එකතු වෙන්න ඕනෙ.

අරගලයෙ ඉන්න තරුණ තරුණියො කියන්නේ මේ 225ම එපා කියලා? 225 ගැනම ඔවුන්ට විශ්වාසයක් නෑ කියනව?

අවුරුදු 05කට කලින් මම ඒක කිව්වේ. ට්‍රයි කරලා ට්‍රයි කරලා බැරිම තැන.

එහෙම තත්ත්වයක් තුළ මේ අය එකතු කරලා වැඩක් වෙයිද?

ව්‍යවස්ථානුකූලව ආණ්ඩුවක් හදන්න බෑ පාර්ලිමේන්තුවට තේරීපත්වෙච්ච මන්ත්‍රීවරුන් නැතුව. මේගොල්ලො 225ම එපා කිව්වට අද තියෙන ව්‍යවස්ථාව අනුව ඒක කරන්න බෑ. දැන් ඔය ප්‍රොටෙස්ට් කරන අයගෙ පොඩි පොඩි සංවිධාන තියෙනවනෙ. ඒ සංවිධානවල නියෝජිතයො ඇතුළුව කැබිනට් එකට ව්‍යවස්ථානුකූලව දහදෙනෙක් විතර පත් කරලා, දැනට ඉන්න අයගෙන් දහදෙනෙක් විතර තෝරලා, එළියෙ ඉන්න කෙනෙක් ගේන්න පුළුවන්නේ ජාතික ලැයිස්තුවෙන් එක්කෙනෙක් අයින් වුණාම. එයාව තාවකාලිකව ජනාධිපති කරලා දැන් ඉන්න අයගෙන් කැබිනට් එකක් පත්කරන්න පුළුවන්. ඊට පස්සේ අරගොල්ලොත් එක්ක විතරයි වැඩ කරන්න පුළුවන්.

කාවද එළියෙන් ගේන්නේ?

මම දන්නෙ නෑ. ඒක ඒ වෙලාවට තීන්දු කරයි.

ඔබතුමියට එන්න කිව්වොත්?

පිස්සුද? මම කීයටවත් යන්නෙ නෑ. මම බලයට එනකොටම කිව්වා අනෙක් අය වගේ වෙව්ල වෙව්ල නම් මම ජනාධිපති හැටියට ඉන්නෙ නෑ, මම අවුරුදු 60දී දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා. හරියට 60දී මම ඉවත් වුණා.

ඒත් ඔබතුමියට තවම පුළුවන්?

ඔව් මට හොඳට පුළුවන්. මහින්දයි මමයි එක වයසනෙ. මහින්දගෙ හැටියි, මගෙ හැටියි බලන්නකො. ඒ වුණාට මම ප්‍රතිපත්තියක් උඩ කටයුතු කරන කෙනෙක්. මම ඒ තීන්දුව ගත්තා. ඒක ආයෙත් වෙනස් කරන්නෙ නෑ. හැබැයි උදව් කරනවා. ඒ අතරෙ හොඳ කට්ටිය හදනවා.

ඒ කියන්නේ ඔබතුමිය ආණ්ඩුවක් හදන්න වගේ යන්නේ?

මම ආණ්ඩුවක් හදන්නෙ නෑ. දැන් කට්ටිය විශ්වාස භංගයට අස්සන් ගන්නවා. නමුත් මම ඒකට සම්බන්ධයක් නෑ. හැම කෙනාම කියන්නේ ආණ්ඩුවක් හදන්න කලින් රාජපක්ෂලා යන්න ඕනෙ කියලා. මගෙ ස්ථාවරය ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් හරි තියාගන්න ඕනෙ කියලා. හැබැයි හුඟක් අය කියන්නේ එක්කෙනෙක්වත් තියාගන්න බෑ කියලා. ගෝල්ෆේස් එකේ ඉන්න අය නම් කිසිසේත්ම කැමැති නෑ රාජපක්ෂලා කිසි කෙනෙක් එක්ක වැඩ කරන්න. අපි යෝජනා කෙරුවොත් අපිව හමගහයි.

යනවද අරගල භූමියට?

මම යන්න හිටියෙ. අත්තනගල්ලෙත් මිනිස්සු පාරට බහිනකොට මම යන්න හිටියා. හැබැයි මගෙ මිත්‍රයො කිව්වා මැඩම්ටත් හූ කියන්න පුළුවන්, ඒ තරම් නරක මූඩ් එකක මිනිස්සු ඉන්නෙ කියලා. මම අරගලය බලනවා ටී.වී. එකෙන්. මම නම් හරි කැමැතියි. හැබැයි හූ කියයි කියලා බයයි. හැබැයි එතැන ඉන්න සමහර තරුණයො මට කෝල් කර කර උපදෙස් ගන්නවා. ඒ කියන්නේ ෆයිට් කරන හැටි නෙවෙයි. මේකට මොකක්ද විසඳුම කියලා?

මිනිස්සු කියනවා මේ පවුල් දේශපාලනය අයින් කරන්න ඕනෙ කියලා?

මම ඒකට විරුද්ධයි. ඒකට විරුද්ධ නිසා තමයි මම පැත්තකට වෙලා හිටියේ. 1977 මැතිවරණ කොට්ඨාස හයකින් බස්වලින් මිනිස්සු ඇවිල්ලා මට කිව්වා ඉල්ලන්න කියලා. මම බෑ කිව්වා. අම්මයි, මල්ලියි, විජයයි දේශපාලනයේ ඉන්නකම් මම ඉල්ලන්නෙම නෑ කියන ප්‍රතිපත්තියේ මම හිටියේ. ඊට පස්සේ ඒ තුන්දෙනාම අයින් වුණාට පස්සෙනෙ මම ඉල්ලුවේ. මම පවුල් දේශපාලනයට විරුද්ධයි. ඒක නිසා තමයි මම පුතාට පැත්ත පළාතෙ එන්න දෙන්නෙ නැත්තෙත්. මට පාරෙ යන්න බෑ. ‘මැඩම් පුතාව ගේන්නකො රට බේරගන්න’ කියලා කියනවා. පුතා එයාර් පෝට් එකෙන් එනකොටත් මිනිස්සු අහනවාලු, ‘සර් රට බේරගන්නද ආවෙ?’ කියලා. ඉතින් පුතා මෙහෙට එන්නෙ මට බැණ බැණ. ‘අම්මට අපි එපා කියද්දි දේශපාලනය කෙරුවා. තාත්තත් මැරුණට පස්සේ. අපටවත් රටේ ඉන්න දෙන්නෙ නෑ. මට වද දෙනවා මෙතෙන්ට අඩිය තියනකොට…’ කියලා. එයා කැමැතිත් නෑ. මම ප්‍රතිපත්තියක් විදියට පවුල් දේශපාලනයට විරුද්ධයි. ඔය රාජපක්ෂලා ඔක්කොම එක ගොඩකට දාලා, විමුක්තිට තනියම දුන්නත් විමුක්තිට කරන්න පුළුවන්. හරි දක්ෂ අවංක කොල්ලෙක්. ජනප්‍රිය වෙන්න පුළුවන්. ලස්සනයි. ඒ වුණාට දේශපාලනයට එන්න නම් දෙන්නෙ නෑ කීයටවත්.

ඔබතුමිය එන්න දෙන්නෙ නෑ?

නෑ. එයත් කැමැති නෑ, මාත් විරුද්ධයි. මම නම් කියන්නේ එන්න හිතන්නවත් එපා කියලා. පරම්පරා ගානක් රට වෙනුවෙන් අපේ සියල්ල දීලා ඉවර වෙලා ආයෙ තවත් දෙන්න? අනෙක් මිනිස්සු කරපුවද? විමුක්තිත් කියන්නේ වෙන හොඳ කට්ටියක් බලයට ඇවිල්ලා කරගෙන ගියොත් එයා උදව් කරන්නම් කියලා. හැබැයි එයා නම් දේශපාලන බලය ගන්න එන්නෙ නෑ. එයා හරියට එක්සයිට් වුණා 2015 අපි අලුත් ආණ්ඩුවක් ගෙනා වෙලාවෙ. තිබුණු ජරා ආණ්ඩුව පරද්දලා. හැබැයි අවුරුද්දක් යනකොට කුණුවෙන්න පටන්ගත්තනෙ. මට බණින්න පටන්ගත්තා, ‘අම්මිට පිස්සුද මංදන්නෙ නෑ මුංව ගෙනල්ලා, රට කනවා’ කිය කිය මට බැන්නා.

මේ ධුර කාල දෙකක රටේ ජනාධිපති ධුරය දැරූ ඔබ දේශපාලන අත්දැකීම් අඩු, අඩු ධුර කාලයක් කටයුතු කරපු වර්තමාන ජනාධිපතිවරයාට පවතින වාතාවරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙසක් දෙනවා නම් මොකක්ද දෙන උපදෙස?

ඒක වචන ස්වල්පයකින් කියන්න බෑ. කරුණාකරලා ජනාධිපතිතුමා වටහා ගන්න අද රටේ තියෙන තත්ත්වය. ඔබතුමා වටේ ඉන්න එක එක කැචර්ලා ඔබතුමාගෙන් අනවශ්‍ය වාසි අරගෙන තව තවත් ජීවත් වෙන්න බලන අය කියන දේවල් අහන්නෙ නැතුව ඔබතුමා මොළේ පාවිච්චි කරලා වටහා ගන්න අද රටේ බහුතරයක් ඔබතුමාට යන්න කියලා කියන්නේ. ඔබතුමාව පෙන්නන්න බෑ. ඒක නිසා තව තවත් මිනිස්සුන්ට අප්‍රිය වෙන්න කලින් වැදගත් විදියට ඉල්ලා අස්වෙලා යන්න. පවුලේ සියලු දෙනාටත් ඉල්ලා අස්වෙලා යන්න කියලා යන්න. මට ඇයි තාමත් එන්න කියන්නේ මිනිස්සු? මම ඩිග්නිෆයිඩ් විදියට දේශපාලනයෙන් අයින් වෙච්ච නිසා. දැන් ඒගොල්ලන්ට ඒ තත්ත්වය ඇතිකරගන්න පුළුවන්ද කියලා මම දන්නෙ නෑ. නමුත් දැන් හරි ගිහිල්ලා පැත්තකට වෙලා ටිකක් කල් ඉඳලා, රටට උදව් කරන්න එන්න පුළුවන් කැමැති නම්. නැත්නම් පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි මොකක් හරි එන ආණ්ඩුවත් සහතිකයක් දෙන්න ඕනෙ ඒගොල්ලන්ට කරදර කරන්නෙ නෑ, නඩු දාන්නෙ නෑ කියලා. මිනිස්සු නම් කියනවා අල්ලලා හිරේ දාන්න කියලා. එහෙම නෑ කරුණාකරලා යන්න. ගියොත් අපි ඕගොල්ලන්ට කරදර කරන්නෙ නෑ කියලා. එතකොටවත් කරුණාකරලා යන්න. මොකද එතුමාට දැන් නම් කවුරු උපදෙස් දුන්නත් මේක ගොඩගන්න බෑ.

ඒක දේශපාලන ඩීල් එකක්නෙ?

ඩීල් නැතුව දේශපාලනයක් තියෙනවද? මොකක්ද ඩීල් නැති දේශපාලනය? ඒගොල්ලො යවාගන්න ඕනෙ නම් ඩීල් එකක් ගැහුවත් හොඳයි නේද? ඩීල් හරි දාලා දැනට ඕගොල්ලන්ට මුකුත් කරන්නෙ නෑ, කරුණාකරලා රටින් පිටවෙන්න, නැත්නම් පැත්තකට වෙලා ඉන්න. යන්න. අපිට කරන්න දෙන්න. රට ගොඩගන්න එපායැ දෙයියනේ. ඔයා දන්නවද මේ මාසෙ 30 වැනිදා වෙනකොට ඩීසල් නෑ, කන්න නෑ කියලා. ආහාර ගේන්නවත් සල්ලි නෑ. බේත් නෑ. ඩොක්ටර්ස්ලා කෑගහන්නේ, ඒක ඇත්ත. හැමදාම හිඟා කකා ණයට ජීවත් වෙන්න පුළුවන්ද?

මිනිස්සු කෑගහන්නේ වංචා දූෂණ කළා, ඒ නිසා යන්න කියලා. එතකොට නිකන්ම යන්න දෙන එක සාධාරණද?

ඒක හරි. හැබැයි දැන් ඒක නිසා ඇතිවෙලා තියෙන දේට ඉස්සෙල්ලම විසඳුම දෙන්න එපායැ. ඔයා මට පිහියකින් ඇනලා මට තුවාලයක් ඇතිකෙරුවා. එතකොට මම කෑගහනවා මට ඇනපු කෙනාව හිරේ දාන්න කියලා. ඒක හරි. හැබැයි ඉස්සෙල්ලම තුවාලෙට බේත් කරන්න ඕන නේද? ඉතින් ඒගොල්ලො යවාගන්න ඩීල් එකක් හරි කරන්න වෙනවා. මම කියන්නේ අඩුම හානියක් වෙන ඩීල් එක ඒක. ඒගොල්ලො ඉන්න හැම දවසකම මේ රටට මහා හානියක් වෙනවා. මේ අවුරුදු දෙකහමාරෙම හොඳ වැඩක් කරලා නෑනෙ. දවසින් දවස රට ප්‍රපාතෙට ඇද දැම්මා මිසක්.

වර්තමාන ජනාධිපතිතුමාට රට කරගෙන යන්න බැරි වෙයිද?

අවුරුදු දෙකහමාරක් කරන්න බැරි වෙලා තියෙනවනෙ. ඒකනෙ මිනිස්සු පාරට බැහැල තියෙන්නෙ. කරන්න බැරි බව සක්සුදක් සේ ලංකාවටයි මුළු ලෝකෙටයි පැහැදිලියි. ඉතින් බැරි නම් යන්න එපායැ දෙයියනේ.

අරගලයේ ඉන්න තරුණයො ඉල්ලන්නේ නව තරුණ නායකත්වයක්. හැබැයි ඒ ඉල්ලන පිරිස සක්‍රීය දේශපාලනයේ නෑ. දේශපාලන පක්ෂවලත් නෑ. එහෙම දේශපාලනයට නෑවිත් ඒ අයට රටට නායකත්වයක් දෙන්න පුළුවන් වෙයිද?

නායකත්වයක් නැතුව ඔහොම මිනිස්සු කැඳවගෙන මාසයකට කිට්ටු කාලයක් අරගල කරන්න බෑනෙ. ඒ අයගෙ නායකත්ව ලක්ෂණ තියෙනවා. ඒ අයට අවශ්‍ය නම් පක්ෂයකට සම්බන්ධ වෙන්න පුළුවන්නෙ. මම හදලා තියෙනවා යූත් ලීඩර්ෂිප් ටේ්‍රනින් ඇකඩමි කියලා එකක්. බී.එම්.අයි.සී.එච්. එකට සම්බන්ධව අපි දැන් ඒ ටේ්‍රනින් ප්‍රෝග්‍රෑම් එක පටන් අරන් මාස 4ක් වෙනවා. මාස 6ක 7ක විතර වැඩසටහනක් ඒක. අපි ඉන්ටර්විව් කැඳවලා හොඳ තරුණ තරුණියො තෝරගෙන ඒක කරන්නේ. හැබැයි ඒකට අවුරුද්දක් දෙකක් යනවා. ඒ අයත් දැන් ඔන්න ගිහින් ගෝල්ෆේස් එකේ ඉන්නවලු. අපි ඒ අයගෙ දක්ෂතාවන්, දැනුම වර්ධනය කරන්න ඕනෙ. දේශපාලන නායකයො විතරක් නෙවෙයි. සැලසුම් කරලා හොඳ මැනේජර්ස්ලා වෙන්නේ කොහොමද, එතික්ස් තියෙන්න ඕනෙ කොහොමද කියන දේවල් ඒ අයට කියලා දෙනවා.

ඔබතුමියල ලෑස්තිද උදව් කරන්න?

එහෙම එකක් ආවොත් මම සම්පූර්ණයෙන් උදව් කරනවා. සත පහක්වත් ගන්නෙ නැතුව. හැබැයි මට පැහැදිලි වෙන්න ඕනෙ ඒගොල්ලන්ගෙ වැඩපිළිවෙළ. වැඩපිළිවෙළක් ඇතිව එන්න ඕනෙ. අපි රට හදන්නේ මේ විදියටයි කියලා.

අරගලය දිගටම යනවා. ආණ්ඩුවත් දිගටම යනවා. රටේ අනාගතය ඔබට පේන්නේ කොහොමද?

ඉතා අඳුරු අනාගතයක්. මට කියන්න බෑ මොනව වෙයිද කියලා. මම නම් හිතුවෙ නෑ ජනතාව මෙහෙම පිබිදීමකින් ඔච්චර ඉක්මනට නැගී සිටියි කියලා. ඒක නිසා මට පේන දේවල් සමහර වෙලාවට වැරැදි වෙන්න පුළුවන්. මම හරියට සතුටු වෙනවා අපේ තරුණ පරපුර ගැන. මේක ප්‍රංශ විප්ලවයත් එක්කත් සන්සන්දනය කරන්න පුළුවන්. ප්‍රංශ විප්ලවයෙ හිටපු නායකයන්ගෙ බෙලි ගසාදැම්මා. එහෙම කරන්න ඕනෙ නෑ. හැබැයි ප්‍රංශ විප්ලවයෙදි අන්තිමට රාජ්‍යත්වය නැති කළා. මොනාකි එක නැති කළා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ගෙනාවා. ජනතාවගෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් හැදුවා. ඉතින් ඒකට මට සමාන කරන්න පුළුවන් ලංකාවෙ වෙන දේ. මේකට නායකත්වයක් දෙන්න තමයි කවුරු හරි ඉන්න ඕනෙ. ඒකට උදව් කරන්න මම සූදානම්. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී වැඩේ වෙච්ච ගමන් මම යනවා. 2015ත් මට එක එක තනතුරු ඔෆර් කළා. ව්‍යවස්ථාව වෙනස් කරලා මට ආණ්ඩුවම සුපර්වයිස් කරන තනතුරක් හදලා දෙන්න හැදුවා. මම එපා කිව්වා. මම කිව්වේ ජනතාව අතර සංහිඳියාව ඇතිකරන ආයතනයක් විතරක් හදලා දෙන්න කියලා. ඒ අනුව මම ගොඩක් වැඩ කරමින් හිටියා. ආණ්ඩුව වැඩවලට සහාය දුන්නා ඉල්ලපු වෙලාවට.

මොකක්ද අපේක්ෂාව?

ඒගොල්ලො කවදා හරි මේ රටේ නායකයො වෙන්න. එක්කෙනෙක් නෙවෙයි. නායකයො සිය ගණනක් අවශ්‍යයි. හැම ක්ෂේත්‍රයටම. තරුණයො මේක හොඳට ඔළුවට ගන්න ඕනෙ. පාර්ලිමේන්තුවට අලුත් කට්ටියක් දාලා ඒගොල්ලන්ගෙන් ආණ්ඩුවක් හදලා නම් මේ වැඩේ කරන්න බෑ. පටන් ගැන්මක් විදියට ඒක හරි. හැබැයි රටේ එළියෙ ඉන්න ඕනෙ හැම ක්ෂේත්‍රයේම හොඳ නායකත්වයක් තියෙන රට ගැන කැක්කුමක් තියෙන රට ගෙනියන්නෙ කොහොමද කියන අවබෝධයක් තියෙන කට්ටියක්. වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරුවො වැනි අය. ඒගොල්ලො ඒක දැනගෙන ආණ්ඩුවට සහාය දෙන්න ඕනෙ. මේක මහා කර්තව්‍යයක්. ගෝල්ෆේස් එකේ ඉන්න කට්ටියටත් ඒකට කරගහන්න වෙලා තියෙනවා. ඒගොල්ලො ඒකට ලෑස්ති නම් මම සූදානම් උදව් කරන්න. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී.

මේක විමුක්ති ගේන වෙලාව නෙවෙයි නේද?

විමුක්ති ගේන වෙලාවක් නෑ.

සැකැසුම – චානක ලියනගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka