එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා වශයෙන් පත්කිරීමත් සමග නව ආණ්ඩුවේ පළමු අභියෝගයට මුහුණ දීමට ලබන අඟහරුවාදා දිනයේදී සිදුවනු ඇත.
ඒ, එදිනට පාර්ලිමේන්තු රැස්වීමේදී නව කතානායකවරයා තෝරා ගැනීම සහ ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමෙන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බැවිනි.
දැනටමත් සමගි ජන බලවේගය නිවේදනය කර ඇත්තේ නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් සිය පාර්ශ්වයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවකි.
ඒ අනුව යම් හෙයකින් ආණ්ඩුව පැත්තෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් රහස් ඡන්දයකට මුහුණදී බහුතරය පෙන්වීමට ආණ්ඩුවට සිදුවනු ඇත.
කෙසේ වෙතත් දැනටමත් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සිටින සියලු පක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් විරෝධය පළකිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, පී. දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ පක්ෂද ආණ්ඩුවට එරෙහිව ඡන්දය ලබාදීමට නියමිතය.
මීට අමතරව ආණ්ඩුවෙන් ස්වාධීනව සිටින ශ්‍රීලනිපය ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 40 දෙනාගේ කණ්ඩායමද වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට දැනටමත් ප්‍රකාශ කොට තිබේ. ඊට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂද ඇතුළත්ය.
කෙසේ වෙතත් වික්‍රමසිංහ මහතාට පක්ෂව පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම ඡන්දය ලබාදෙන බව වාර්තා වේ.
එහෙත් පොහොට්ටුවේ සිටින රාජපක්ෂ විරෝධී මන්ත්‍රී කණ්ඩායමක් බොහෝ දුරට මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති බවද දැනගන්නට තිබේ. එමෙන්ම තවත් පිරිසක් එදින පාර්ලිමේන්තු පැමිණීමෙන් වැළකී සිටිනු ඇති බවද දැනගන්නට ඇත.
එහෙත් ජීවන් තොණ්ඩමන් මහතා නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය වික්‍රමසිංහ මහතාට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
ඒ අනුව අඟහරුවාදා දිනයේදී නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්ද විමසීමේදී සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුවටත්, නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉතා තීරණාත්මක අවස්ථාවක් උදාවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
