gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

IMF නොයා යුතුයි - බැසිල්ගෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක්!

මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවා දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින රට පාලිත තත්ත්වයට රැගෙන ඒමට නොහැකි නම් මහජන නියෝජිතයන් 225දෙනා පාර්ලිමේන්තුව තුළ සිටින්නේ කුමකටදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා (07) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“මේ දවස් දෙකක විවාදය අවසානයේ ලැබෙන පිළිතුර කුමක් ද, කියන ප්‍රශ්නය ජනතාවගේ හදවත් තුළ තිබෙනවා. කාටවත් අයිතියක් නැහැ ‘තැටිය රත් වුණු වෙලාවෙ රොටිය පුච්චා ගන්න’. නමුත් අඩුවැඩි වශයෙන් බොහෝදෙනකු බලන්නේ අර්බුදය තමන්ගේ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගන්න. අර්බුදය අවස්ථාවක් බවට පරිවර්තනය කර ගන්න ඕනේ ජනතාවට ජයග්‍රහණ ලැබෙන පරිදියි.

‘අවලස්සන ඇමරිකානුවාගේ දේශපාලන මැච් එක’

අමාත්‍ය ධුර දරන අවස්ථාවේදී අපි දිගින්දිගටම පෙන්වා දුන්නා මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව. කල්තියා අවශ්‍ය පියවර ගත්තා නම් අර්බුදය මේ තත්ත්වයට මෝරන එක සමනය කරගත හැකිව තිබුණා. නමුත් ද්විත්ව පුරවැසියා, ඒ අවලස්සන ඇමරිකානුවා අප ඉදිරිපත් කළ කිසිම කරුණක් සැලකිල්ලට ගත්තේ නැහැ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට සූදානම් වෙනවා. නමුත් මේ අවලස්සන ඇමරිකානුවා එදා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා යුත්තේ ඇයි?’ කියා පැහැදිලි කිරීමට. කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් මූල්‍ය අරමුදලට යායුතු බවට යෝජනා කළාට පසුවයි ඔහු මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. ඔහුට ඕනෑ වුණා මේ අර්බුදය උත්සන්න කරලා ඒක ඇතුලේ එයාගේ ‘දේශපාලන මැච් එක’ ගහන්න. එයාගේ දේශපාලන මැච් එක තමයි, ‘ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එපා වෙලා මේක දාලා ගියාම, මහින්ද රාජපක්ෂ මැතිතුමා අතේ තිබෙන අගමැතිකමත් අරගෙන එයා ජනාධිපති වීම, මුළු බලයම එයා අතට ගැනීම. එසේ ආත්මාර්ථකාමී පරමාර්ථයෙන් මේ අර්බුදය දිහා බලපු නිසා තමයි මෙවැනි තත්ත්වයකට රට අද දැමුණේ.

නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි,

විදුලිය කපා හැරීම් නිසා, අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි නිසා දැනටමත් කර්මාන්ත ශාලා වැසෙමින් තිබෙනවා. රැකියා දහස් ගණනින් අහිමි වෙමින් තිබෙනවා. මේකයි අපේ ඉතිහාසයේ කතාව තුළ අපේ රටවැසියාට ඉතාමත් අවාසනාවන්ත කොන්දේසි යටතේ මුහුණදීමට සිදුව ඇති සිංහල – හින්දු අලුත් අවුරුද්ද. ‘අර්බුදය උත්සන්න වන එකේ වාසිය අපටයි. ගෙඩිය වැටෙන්නේ අපේ මඩිස්සලේටයි. අර්බුදය තවතවත් උත්සන්න වේවා!’ කියා ප්‍රාර්ථනා කරමු ද? එහෙම නැතිව මේ අර්බුදය පියමන් කිරීමේ අතරමැදි වැඩපිළිවෙළකට අපි කවුරුත් එකඟ විය යුතු නැද්ද? අරාජිකත්වයෙන් වාසි සැලසෙන්නේ අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට මිසක් ප්‍රබුද්ධ සමාජ බලවේගවලට නොවෙයි. ඒ නිසා අරාජිකත්වයට වැටෙන්න නොදී මේ රට ආරක්ෂා කර ගැනීමේ වගකීමෙන් අපි කාටත් මිදෙන්න බැහැ.

‘කෙටිකාලීන උත්තරයක්’

මට පෙර අදහස් දැක්වූ රවුෆ් හකීම් හිටපු ඇමැතිවරයා පැවසුවා, ‘දැන් ඇමති මණ්ඩලයක් නැහැ’ කියා. ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයක් පත් නොකර ඉන්නේ මේ පාර්ලිමේන්තුවෙන් සුදුසු විසඳුමක් අපි, තමුන්නාන්සේලා ඉදිරිපත් කරයි, කියා හිතලා වෙන්නත් පුළුවන්. එසේ හිතුවත්, නැතත් අපට වගකීමක් තිබෙනවා සුදුසු විසඳුමක් ඉදිරිපත් කිරීමට. අපට පුළුවන්කම තිබෙන්න ඕනේ අපේ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරලා අපේ විදේශ වත්කම් සංචිතයට ඩොලර් බිලියන 04 – 05ක් එකතු කරගන්න. මේ අර්බුදයෙන් එළියට එන්න ඒ වගේ කෙටිකාලීන උත්තරයක් තමයි තිබෙන්නේ. තිබුණු ආණ්ඩුවට ඒ සඳහා හැකියාවක් තිබුණේ නැහැ. ඒ ආණ්ඩුවට ජාත්‍යන්තර විශ්වාසය තිබුණේ නැහැ. අපේ රටට කැමැත්තෙන් සිටි ජපානය, චීනය වැනි රටවලුත් තරහ වුණා.

‘පළමු කොන්දේසිය’

ඒ නිසා විසඳුමකට යාමේදී පළමු කොන්දේසිය වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ සිට හිටපු අමාත්‍ය මණ්ඩලය ඉවත් වීමයි. ඉන්පසු අපි නව අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවිය යුතුයි. ඒ අන්තර්කාලීන පාලනතන්ත්‍රය සියලු පක්ෂ නියෝජනය කරන එකක් විය යුතුයි; එම පාලනතන්ත්‍රය කඩිනමින් අපේ විදේශ වත්කම් සංචිතයට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කොට ඩොලර් බිලියන 04 – 05ක් එකතු කළ යුතුයි. විදේශ වත්කම් සංචිතය ශක්තිමත් වුවහොත් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට එන්න පුළුවන්. ශ්‍රේණිගත කිරීම්වලින් අපි ඉහළට ආවම ලෝකයේ අනෙකුත් මූල්‍ය ආයතන අපේ රටත් සමග ගනුදෙනු කිරීමට දැන් වගේ බිය වන්නේ නැහැ. දැන් අපේ රටේ රාජ්‍ය බැංකුවකට වෙනත් රටක බැංකුවකින් ණය ගන්න බැහැ. ඩොලර් හිඟයක් ආවාම වෙනදා පිටරට බැංකු මගින් ණය ගන්නවා. දැන් ණය දෙන්නේ නැහැ. එනිසා මුලින්ම කළ යුත්තේ අපේ රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් කිරීම.

‘දැන් ඒ පරිච්ඡේදය අවසන්’

හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යතුමන් මේ හා සම්බන්ධ අදහසක් ඊයේ පවසලා තිබුණා. මම මෙහිදී කනගාටු වෙනවා, අවලස්සන ඇමරිකානුවා විසින් ඔහුගේ සහෝදරයා මහින්ද රාජපක්ෂ මැතිතුමන්, මෙවැනි තත්ත්වයකට ඇද දැමීම පිළිබඳව. දැන් ඒ පරිච්ඡේදය අවසන්. ඒක අපි පිළිගන්න ඕනේ. මහජන විශ්වාසය හදන්න බැහැ තවදුරටත් ඒවා එල්ලාගෙන. පක්ෂ විපක්ෂ කාටත් අද මේ අවස්ථාවේ කර හරින්න බැහැ. රට තුළ මෙවැනි ආපදා තත්වයක් ඇතිවුණාම එයින් වාසි ගන්නේ වෙනත් රටවල්, වෙනත් බලවේග.

අද පාරට බැහැලා ඉන්නා දරුවන් අතර බොහෝදෙනෙකු ඉන්නවා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනගත්තු අය. අද අභියෝගය එල්ල වෙලා තිබෙන්නේ ඒ අයගේ මධ්‍යම පාන්තික ජීවිතවලට; ඔවුන්ගේ ජීවන රටාවට. ඒක තමයි ඔවුන් අද බෝඩ් එකක් අරන් පාරට ඇවිල්ලා පෙන්වන්නෙ. ඒ නිසා ඒ හැමකෙනාටම එකඟවිය හැකි විසඳුමක් තමයි අපි ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ. මම හිතනවා මේ ගැන ප්‍රබුද්ධව හිතන ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා මා සමග එකඟවෙයි, කියා. අපි මෙතැනදී දේශපාලන තීන්දු ගන්න ගියොත් තීන්දු ගන්න නොවෙයි කිසිවක් කරගන්න අපට රටක් ඉතිරි වන්නේ නැහැ. එහෙම වුණොත් මේ අර්බුදය ව්‍යසනයක් දක්වා ගිහින් කොතැනින් කෙළවර වෙයිද කියා අපි කාටවත් කියන්න බැහැ. කවුරුහරි හිතනවානම් මේ අර්බුදය, ව්‍යසනයක් දක්වා ගිහින් තමන්ට ‘පාර කැපෙයි’ කියා එය මුලාවක්. නුඹලාට පාර කැපෙන්නේ දේශපාලන කනත්තට බව තරයේ සිහියේ තබා ගන්න.

‘නිකම්මු’

මේ වෙලාව මුළුමහත් ජනීජනයා අපි දිහා බලා ඉන්න වෙලාවක්. ‘ඇයි මේක ගොඩදාගන්න බැරිද, ගොඩදාගන්න පුළුවන් ටිකක් ඔතැන නැද්ද, මුන් ටිකට එකතු වෙන්න බැරිද?’ කියන ප්‍රශ්න ටිකයි අද මහජනතාවගේ හදවතේ ඇවිලෙන්නේ. මේ ප්‍රශ්නවලට උත්තර නොදී මග හැර යන සියලුදෙනා මේ අර්බුදය වර්ධනය වීමට ඉඩහැරලා බලන් ඉන්න ‘නිකම්මු’ කියලයි මට කියන්න තිබෙන්නේ. මේ වගේ අර්බුදකාරී අවස්ථාවකවත් අපට බැරිනම් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවලා මේ අයාලේ යන රට, පාලිත තත්වයකට රැගෙන එන්න ඇයි අපි 225 මෙතැන ඉන්නේ?

‘ජාතික වගකීම’

‘යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’. මහජනතාව, මහජන නියෝජිතයන් ලෙස අපි මෙතැනට එව්වේ මෙවැනි ව්‍යසනයක් සිදුවන විට කතා පවත්වමින් ආතල් දෙන්න ද? මම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නේ නැහැ. නමුත් අපට ජාතික වගකීමක් තිබෙනවා දේශපාලන මතභේද, ප්‍රතිපත්තිමය වෙනස්කම් අපි අතර තිබුණත් කවර දේශපාලනයක් හෝ කරන්න අපට මේ රට ඉතිරිව තිබිය යුතුයි. මේ අර්බුදය, ව්‍යසනයක් දක්වා වැඩුණාම පාලන සුක්කානම අපි අතින් ගිලිහෙනවා. එය නතර වන්නේ අපි කවුරුත් හිතන තැනකින් නොවෙයි.

අද රටේ හැමතැනම සටන්. අද යළිත් සංචාරකයෝ එන එක නතර වෙලා. බ්‍රිතාන්‍යය – ඇමරිකාව ‘යන්න එපා! ශ්‍රී ලංකාව අනතුරුදායකයි’ කියන නිවේදනය නිකුත් කර අවසන්. රටට ඩොලර් පොඩ්ඩක් හරි එන මාර්ගයත් වහලා අපිට කාලකන්නි සන්තෝෂයක් ලබන්න පුළුවන්ද? වැඩපිළිවෙළක් සකසා, එය ක්‍රියාත්මක කිරීමට අප සියලුදෙනා එකතුවෙලා අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් හදමු. ආණ්ඩුව එයයි කළ යුත්තේ. විපක්ෂය වෙනත් වැල් බයිලා නොකියා එය දිරිගැන්වීමයි කළ යුත්තේ. ‘අපි ප්‍රායෝගික වෙමු! අර්බුදයකදී ඉන් ඵල ප්‍රයෝජන ගන්නා අවස්ථාවාදීන් නොවෙමු! අපි හැමෝම මෙම අර්බුදයට විසඳුම් සෙවීමට එකතු වෙමු! කියන ඇරයුම කරමින් මා නිහඩ වෙනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka