කැබිනට් මණ්ඩලය මේ වනතුරුත් පත්කර ගත නොහැකි තත්වයට පත් වී ඇත්තේ රාජපක්ෂ පවුලේ බලය සම්බන්ධව පැන නැගී ඇති අභ්‍යන්තර ගැටුම් උග්‍ර වී ඇති නිසා බව අතිශය විශ්වාසකටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.
මේ තරම් ජනතා අප්‍රසාදය පලවෙමින් ඇති වූ බලපෑම නිසා රාජපක්ෂ පවුලේ කිසිවෙක් කැබිනට් මණ්ඩලය වෙත පත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබීමත් එම තීරණයට අගමැතිවරයා දැඩි ලෙස බලපෑම් කිරීමත් නිසා මේ තත්වය උග්‍ර වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිකම තමන්ට අවශ්‍ය බව කියමින් කරන බලපෑම අගමැති මහින්ද රාජපක්ෂ විසින් තහවුරු කිරීමත්, තමන් විවේචනය කරමින් ජනාධිපතිවරයා ආරක්ෂා කරන කණ්ඩායමට ජනාධිපතිවරයාගේ ඇති අනුකම්පාව නිසා ගැටුම උග්‍රවන තැනට බැසිල් රාජපක්ෂ කටයුතු කිරීමත් හේතුවෙන් ජනාධිපතිවරයාත් මේ වනවිට අසීරු අඩියකට පත් වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාලව අත්සන්කළ ගිවිසුම් කීපයක් ඇති බැවින් එම කටයුතු නිරාකරණයවන තුරු ඇමති ධුරයේ රැඳී සිටීම අත්‍යාවශ්‍ය කාරණයක් වී ඇති බවය.
ඊයේ සවස ජනාධිපති සහ අගමැති අතර පොහොට්ටුවේ ඉතා ප්‍රබලයින් කිහිපදෙනෙක් ඉදිරියේ මේ පිළිබඳව ඇති වූ සංවාදයේ දී අගමැතිවරයා ඍජුවම නාමල්ගේ ක්‍රීඩා ඇමතිකම ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනාධිපතිවරයාට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.
