සියලු පාලකයන් බෞද්ධ දර්ශනය අනුව වැඩකටයුතු කළ යුතු කාලයක් එළඹ ඇතැයි ද ඒ අනුව වැඩ කළහොත් අධ්‍යාත්මික ශක්තියෙන් බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගත හැකි යැයි ද හිටපු ජනපතිගේ පුත් පොලොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලයේ සභාපති දහම් සිරිසේන සඳහන් කළේය.
වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාමයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජාණන් වහන්සේ උදෙසා මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ (31) පෙරවරුවේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්ව පැමිණ සිටි පිරිස අමතමින් දහම් සිරිසේන මේ බව කීවේය.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී ශ්‍රී සුදර්ශනාරාමධිපති දිඹුලාගල රාහුලාලංකාර නහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති එම උත්සවයේදී වැඩිදුරටත් එක්ව සිටි පිරිස ඇමතූ දහම් සිරිසේන මෙසේ ද කීවේය.
මම මේ වගේ පිංකමක දේශපාලනය කතා කරන්නේ නැහැ. නමුත් ලංකාවේ කිසිම කාලයක ජනතාව මුහුණු නොදුන්න තත්වයක් අද පත්වෙලා, බෞද්ධයන් හැටියට අපි දන්නවා අද අපේ රට ආර්ථික වශයෙන් විශේෂයෙන් ගැටලු ඇති වෙලා. බොහෝ දෙනකු උදේට ඇහැරෙන්නේ සතුටෙන් නෙමෙයි. ප්‍රශ්න ගැටලු එක්ක නැත්නම් විදුලිය විසන්ධි වෙලා තිබෙන මොහොතක.
ඉතින් හැමෝම ඇහැරෙන්නේ දැඩි කෝපයකින්. ගොවියන්ට තිබෙන ප්‍රශ්න වගේම ජනතාවට තිබෙන ප්‍රශ්න ගොඩක් එක්ක තමා නැගිටින්නෙ. එතකොට එන්නෙ ලොකු කේන්තියකින්. වෙනත් රටවල් වලට වඩා අපේ රටේ බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය වැඩිවශයෙන් අහන්න ලැබෙනවා.
මෙවැනි කාලයක් තුළ ඒ බෞද්ධ දර්ශනය මතක් කරගෙන ආධ්‍යාත්මිකව වැඩ කටයුතු කරගත යුතුයි. එහෙම තමයි මම මේ කාලය දකින්නේ.
බෞද්ධ දර්ශනය අනුව අප රටේ සියලු පාලකයෝ කටයුතු කළොත් කරන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්.
