තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට ඊයේ (02) අලුයම කඩාවැදුණු පිරිසක් එහි සිසුන් වෙත පහරදීමක් සිදුකර තිබුණි.
ඉන් තුවාල ලැබූ සිසුන් තිදෙනෙක් රෝහල්ගත කෙරුණි.
මෙම පහරදීමට පැමිණි පිරිස අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ රියදුරෙකු බව කියන අයකු ද සිටි බවට හැඳුනුම්පතක් සොයා ගැනුණු අතර සැකකරුවන් පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක්ද සිසුන් සිය භාරයට ගෙන පොලීසියට භාරදී තිබුණි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා පොලීසිය වෙත ඊයේ රාත්‍රියේ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.
23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවිය.
පොලීසිය පැවසුවේ, එම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය ද කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බවය.
ඒ අනුව එම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7කි.
ඉන් අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණේ,
"මේ සිද්ධියට මගේ කියලා කවුරු හරි සම්බන්ධවෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් තුළ ඒ අය ගැන විනය තීන්දුවක් ගන්න මං අනිවාර්යයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම කවුරු හරි කියවා නම් ඒකට මම සම්බන්ධයි කියලා..ඒක ඔප්පු කළොත් මං අනිවාර්යයෙන්ම අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනවා."
