ජනතා විමුක්ති පෙරමුණ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයාට පිළිතුරක් ලබාදී තිබෙනවා.
ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේග සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බවට ඔහු කළ ප්‍රකාශයට.
කෝටි දොළහ හමාරක නඩුව
එම පක්ෂය වෙනුවෙන් එසේ පිළිතුරු ලබා දෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වසන්ත සමරසිංහ මහතායි.
බිත්තර ප්‍රහාරයට පැමිණි අය හසු වී සිටියදී, ඒ ප්‍රහාරයට 15 දෙනකු පමණ පැමිණි බව හෙළිදරව් වී තිබියදී, ඒ අය එව්වේ කවුද කියා හෙළි වී තිබියදී එම ප්‍රහාරයේ වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පැවරීමට දිසානායක මහතා කටයුතු කරන්නේ ඇයි දැයි යන්න පිලිබඳවත් සමරසිංහ මහතා හෙළිදරව්වක් කරනවා.
ඒ ඔහුට එරෙහිව පනවා ඇති රු. කෝටි දොළහ හමාරක (රු. ලක්ෂ 1250) වංචාවක් සම්බන්ධයෙන් තිබෙන නඩුව ආණ්ඩුව ලවා යට ගැසීමට බවටයි.
ඒ යුගය අවසන්
දිසානායක මහතා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී කොළඹ විශ්ව විද්‍යාලයට භාරදුන් ඉඩමක තිබූ නිවසේ කෝටි දොළහ හමාරක පමණ භාණ්ඩ සොරකම් කළ බවට දිසානායක මහතාට එරෙහිව නඩුවක් තිබෙන බවයි සමරසිංහ මහතා අනාවරණය කරන්නේ.
සමරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ මොහොතේ ජාතික ජන බලවේගය වටා ඒකරාශි වන බලවේගවලට එරෙහිව මත ප්‍රකාශ කොට එම නඩුවෙන් නිදහස් වීමට දිසානායක මහතා උත්සාහයක් ගන්නා බවයි.
එවැනි කතා වලට රැවටෙන යුගය දැන් අවසන් බව සමරසිංහ මහතා අවධාරණය කරන්නේ ඒ ගොන්නු ගස් බැඳ දැන් බොහෝ කල් ගත වී ඇති බව දිසානායක මන්ත්‍රීවරයාට මතක් කරමින්.
මන්ත්‍රීවරයාගෙන් අභියෝගයක්
විද්‍යාලයට භාර දීපු නිවසක තිබූ භාණ්ඩ සොරකම් කළ එස් බී දිසානායක මහතා කියන කතා අපේ රටේ ජනතාව පිළිනොගන්නා බවයි සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ නිසා හැකිනම් එම නඩුවට මුහුණ දෙන ලෙසටත් ඔහු දිසානායක මහතාට අභියෝගයක් කරනවා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා එම සමුළුවට එල්ල කළ බිත්තර ප්‍රහාරයේ වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පැවරුවේ සමුළුව පැවැති ප්‍රදේශයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශක්තිමත් බව ප්‍රකාශ කරමින්.
