gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප‍්‍රහාරයට පසුගිය රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි....කාදිනල්තුමාගේ ප්‍රකාශයේ කිසිම සාධාරණයක් නැහැ - සරත් වීරසේකර

නිරන්තරයෙන්ම ඇතිවෙමින් පවතින භාණ්ඩ මිල ඉහළ යෑම සහ භාණ්ඩ හිඟය විසින් ජන ජීවිතය පමණක් නොව රටේ දේශපාලන තත්ත්වය ද නිරන්තරයෙන්ම අභියෝගයට ලක්කර ඇත. 

ඒ සඳහා තවදුරටත් පාස්කු ඉරු දින එල්ල කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාරය විසින් එල්ල කරන බලපෑමේ ද කිසිදු අඩුවක් වී නොමැත. අප එම කරුණු කාරණාවන් පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් මෙන්ම විපක්‍ෂය නියෝජනය කරන ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයාගෙන් ද විමසීමට අදහස් කළෙමු. එහිදී පළවූ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය – වැඩ වර්ජනවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක‍්‍රියා කළ යුතු බව ඔබ කැබිනට් මණ්ඩලයේ දී යෝජනා කළත් ජනාධිපතිතුමා එම යෝජනාව දැඩිව ප‍්‍රතික්‍ෂේප කළ බවක් වාර්තා වනවා.

ඇයි ඔබ ඒ ආකාරයට වැඩ වර්ජනයන්ට එරෙහිව දැඩිව ක‍්‍රියා කළ යුතු බව යෝජනා කළේ?

පිළිතුර – සමහරු වැඩ වර්ජන කිරීමේ දී මහා මාර්ග අවහිර වන සේ කටයුතු කරනවා. එබඳු අවස්ථාවල දී පැය 2ක 3ක මහා මාර්ග වසා තැබීමට සිද්ධ වෙනවා. එබඳු අවස්ථාවල දී පොලිසිය අධිකරණය හමුවට ගිය විට, අධිකරණය කියනවා නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා. එසේත් නොමැති නම් ඉන්න අය අත්අඩංගුවට ගන්න කියලා පැහැදිලි නියෝග දෙනවා. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. නමුත් එම නිසා මහා මාර්ගවල ගමන් ගන්නා ජනතාව විශාල අපහසුතාවයකට පත් වෙනවා. මම ජනාධිපතිතුමා ගෙන් විමසා සිටියේ එබඳු අවස්ථාවල දී කුමක් කළ යුතු ද යන්න පිළිබඳ තමයි. ජනාධිපතිතුමා පැහැදිලි වම අපට මීට පෙර නියෝග දීලා තිබෙනවා. කඳුළු ගෑස් යොදා ගන්න එපා කියලා. එම අවස්ථාවේදීත් ජනාධිපතිතුමා කිව්වා කඳුළු ගෑස් ගහනවට එතුමා කැමති නැති බව. එම අවස්ථාවේ දී මම ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටියා එසේ නම් මෙම අවස්ථාවේ දී වැඩ වර්ජනවල නිරත වන අය කැඳවා එම වර්ජනවල නොයෙදෙන ලෙස ඉල්ලා සිටින්න කියලා. රටතුළ අර්බුදකාරී තත්ත්වයක් පවතින මෙම අවස්ථාවේ දී වැඩ වර්ජනය කරන එකත් වැරදියි.

මම ම එම ඉල්ලීම කළේ ජනතාව ගැන සිතලා. මම බැටන් පොලූ ප‍්‍රහාර එල්ල කිරීමට අවසර ඉල්ලා සිටියේ නැහැ. ඒ සඳහා දැන් වුවත් අවසර තිබෙනවා. ඉල්ලීම කළේ ජනතාව ගැන හිතලා.

ප‍්‍රශ්නය – හිටපු නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීම නිසා පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු අල්ලා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහුණු බවට විපක්‍ෂය චෝදනා කරනවා. එම චෝදනා පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – 2019 පෙබරවාරි 19 වන සී. අයි. ඞී. එකේ නිලධාරීන් හාදියා ගේ නිවසට යනවා. එම අවස්ථාවේ දී සොයා ගත් තොරතුරු පසු පස හබා ගියා නම් පාස්කු ප‍්‍රහාරය වළක්වා ගන්න තිබුණා. ඒ වගේ ම මාවනැල්ලේ බුදුපිළිම කැඞීම පිළිබඳව සිදු කළ විමර්ශන කටයුතු දිගට ම සිදු කළා නම් සහරාන් අත්අඩංගුවට ගන්න තිබුණා.

ඒ වගේ ම සී. අයි. ඞී. එකේ 700ක් පමණ නිලධාරීන් සිටිය දී සහරාන් ඇතුළු කණ්ඩායම පිළිබඳව සොයන්න යොදවලා තිබෙන්නේ නිලධාරීන් 5දෙනකු පමණයි. ඒ පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙත් සඳහන් කරලා තිබෙනවා. ශාන් අබේසේකර කියන්නේ සී. අයි. ඞී එකේ සිටිය ප‍්‍රධානියා. එසේ තිබිය දී තමයි ඔය වැනි චෝදනා කරන්නේ.

ප‍්‍රශ්නය – ශානි අබේසේකර මහතා ගේ ආරක්‍ෂාව පිළිබඳවත් ගැටලූ මතු වී තිබෙන බවට විපක්‍ෂ චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර කුමක්ද?

පිළිතුර – ඒ සම්බන්ධයෙන් පොලිසිය පියවර ගත යුතුයි.

ප‍්‍රශ්නය – අපගේ සහෝදර මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා ගේ නිවසට එල්ල කරන ලද ප‍්‍රහාරය පිළිබඳව සිදුකරන පරීක්‍ෂණ කටයුතු මේ වනවිට පවතින්නේ කුමන මට්ටමක ද? ඊට වගකිව යුතු පුද්ගලයන් නීතිය හමුවට ගේන්න තව කොපමණ කාලයක් ගතවේවි ද?

පිළිතුර – එම ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමේ දී මේ වනවිට සී. සී. ටී. වී කැමරා 92ක් පරීක්‍ෂා කරලා තිබෙනවා. ඒ වගේම එම අවස්ථාවේ දී මාර්ගයේ ගමන් කළේ කවුද කියන එක පිළිබඳවත් විමර්ශනය කර තිබෙනවා. ඒ වගේ ම සොකෝ ටීම් එකත් එම ස්ථානයට ඇරලා තිබෙනවා. ඒ වගේම සුනඛයන් යොදාත් පරීක්‍ෂණ කටයුතු සිද්ධ කරලා තිබෙනවා. චමුදිත මීට පෙර එම ප‍්‍රදේශයේ සොරුන් සිටින බවත් එම නිසා තර්ජන තිබෙන බවත් සඳහන් කර පොලිසියේ පැමිණිල්ලක් දාලා තිබෙනවා. එම පැමිණිල්ලෙන් පසුව ඔහුගේ ගේට්ටුවේ පොලිස් පොතක් දමා තිබෙනවා. එම සිද්ධිය වූ දිනයෙත් 12.45ට පොලිසිය එම පොතේ අත්සන් කරලා තිබෙනවා. මේ වනවිට පොලිසිය පුද්ගලයන් හතළිස් දෙන්නකු ගෙන් ප‍්‍රශ්න කරලා තිබෙනවා. ඒ ආකාරයට එම සිදුවීම පිළිබඳව පොලිසිය විමර්ශන කටයුතු සිද්ධ කරනවා. එම නිසා කාටවත් කියන්න බැහැ පොලිසිය මේ සම්බන්ධයෙන් ක‍්‍රියා කළේ නැහැ කියලා. ඒ වගේම පොලිසිය මෙම පහරදීම පිළිබඳව ප‍්‍රමුඛතාවයක් දී සොයා බලන බවත් සඳහන් කළ යුතුයි. සමහර සී සී ටී වී දර්ශනවල සඳහන් වාහනවල අංක තහඩු පැහැදිලි නැහැ. එම නිසා එම දර්ශන මේ වනවිට මොරටුව විශ්වවිiාලයට යොමු කර තිබෙනවා. එම වාහන හඳුනාගැනීම සඳහා විමර්ශන කටයුතු අඛණ්ඩව ම සිද්ධ වෙනවා. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකාරයන් නුදුරේදීම අත්අඩංගවට ගැනීමට පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා.

ප‍්‍රශ්නය – මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙනුත් ප‍්‍රශ්න කළ බව වාර්තා වනවා. ඒ පිළිබඳව සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – කඩිනමින් පරීක්‍ෂණ කටයුතු සිද්ධ කරලා අපරාධකාරයන් නීතියේ රැහැනට හසුකර ගන්න ලෙස මම උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ අනුව විවිධ පුද්ගලයන් ගෙන් ප‍්‍රශ්න කරනවා ඇති.

ප‍්‍රශ්නය – පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළාය යන චෝදනාව යටතේ පවරන ලද නඩුවලින් හිටපු ආරක්‍ෂක ලේකම් සෝමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අධිකරණය විසින් නිදහස් කළා.

එම අධිකරණ තීන්දුවෙන් පසුව කාදිනල්තුමා ප‍්‍රකාශ කළා ආණ්ඩුව හෝ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ විශ්වාසයක් නොමැති බව ඔබ එම ප‍්‍රකාශය දකින්නේ කෙසේද?

පිළිතුර – එවකට සිටි නීතිපතිතුමා වූ දප්පුල ද ලිවේරා මහතා විසින් තමයි එම නඩු පවරා තිබෙන්නේ. අධිකරණය විසින් එම නඩු සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා. අධිකරණය විසින් ලබාදෙන නියෝගයක් අපට අභියෝගයට ලක්කිරීමට බැහැ. විත්තිකාරයන් බවට පත්වන සියලූදෙනා ම වැරදිකාරයන් බවට පත්වන්නෙත් නැහැ. නිදහස් වන්නෙත් නැහැ. පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව පැහැදිලි සාක්‍ෂි තිබෙනවා. අපි ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා.

ප‍්‍රශ්නය – කාදිනල්තුමා ප‍්‍රකාශ කළා ඉදිරි රජයත් යටතේ හෝ පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් අපේක්‍ෂා කරන බව.

පිළිතුර – මම සිතන්නේ එම ප‍්‍රකාශයේ කිසිම සාධාරණත්වයක් නැහැ. මොකද පසුගිය රජය කාලයේ දී තමයි පාස්කු ප‍්‍රහාරය එල්ල වුණේ. එම රජය ත‍්‍රස්තවාදය නැති කිරීම සඳහා කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගත් නිසා තමයි එම ප‍්‍රහාරය එල්ල වූයේ. එම ප‍්‍රහාරය එල්ල වූයේ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ මුස්ලිම් ජනතාව ගේ ඡන්දවලට කෑදර කමින් අන්තවාදී සැකකරුවන් අත්අඩංගුවට නොගන්න නිසා තමයි 2018 දී රාජ්‍ය බුද්ධි සේවය සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා රජයට ලිඛිතව දැනුම් දී තිබෙනවා. නමුත් සහරාන් අත්අඩංගුවට ගත්තේ නැහැ. පාස්කු ප‍්‍රහාරයට පෙර අන්තවාදී ත‍්‍රස්තවාදී සිද්ධීන් 8ක් සිද්ධ වී තිබෙනවා. පෙරහුරුවක් ලෙස යතුරු පැදියක් පුපුරවා හැරලා දින 5කට පසුව තමයි පාස්කු ප‍්‍රහාරය එල්ල වූයේ. එම නිසා එම ප‍්‍රහාරයට පසු ගිය රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. අපේ රජය යටතේ සිද්ධ වෙන්නේ ඒ පිළිබඳ විමර්ශනයයි.

පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට ඉඩ දුන් රජයට දෝෂාරෝපනය කරන්නේ නැතිව විමර්ශන කටයුතු සිද්ධ කරන රජයට දෝෂාරෝපනය කිරීම හරිම අසාධාරණයි. අද වනවිට මහාධිකරණ 10ක චූදිතයන් 74කට විරුද්ධව නඩු 24ක් දාලා තිබෙනවා. කොළඹ මහාධිකරණයේ නවුෆර් මවුලවි ඇතුළු මෙම ප‍්‍රහාරයට සෘජුව සම්බන්ධ වූ 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23720ක් යටතේ නඩු පවරලා තිබෙනවා. ඒ සමහර නඩු දැන් දිනපතා අහනවා. එසේ තිබියදීත් කිසිවක් කරන්නේ නැහැ කියලා රජයට සහ පොලිසියට චෝදනා කරන එක ඉතාම අසාධාරණ බව තමයි මම කියන්නේ.

ප‍්‍රශ්නය – හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා එම ධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව කරන ලද ප‍්‍රකාශයක් බොහෝ මතභේදයන්ට තුඩු දී තිබෙනවා. එබඳු ප‍්‍රකාශ කළ සිරිල් ගාමිණී පියතුමා අශෝක අබේසිංහ මන්තී‍්‍රවරයා ඇතුළු අයගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ සටහන් කර ගන්නත් මේ දක්වා දප්පුල ද ලිවේරා මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා නො ගන්නේ ඇයි?

පිළිතුර – දප්පුල ද ලිවේරා මහා එබඳු ප‍්‍රකාශයන් කළේ ඇයි ද කියන එක අපටත් සිතා ගන්න බැහැ. ඒ වගේම එම ප‍්‍රකාශය කුමන පදනමකින් කරා ද කියන එකත් අපි දන්නේ නැහැ. එතුමා නීතිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී පොලිසියෙන් සමහර සාක්‍ෂිවලට අමතර කරුණු ඉල්ලා සිටියා. ඒ කරුණු සියල්ල ම ලබා දී තිබුණා. එසේ තිබියදී විශ‍්‍රාම යන අවස්ථාවේ දී එබඳු ප‍්‍රකාශයක් කළේ ඇයි ද කියන එක අපටත් සිතා ගන්න බැහැ.

සිරිල් ගාමිණී පියතුමා කළ ප‍්‍රකාශය ගැන සුරේෂ් සැලේ මහතා කළ පැමිණිල්ලට අනුව තමයි කටයුතු කරලා තිබෙන්නේ. පොලිසිය හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ඉදිරිපත් වන පැමිණිලි අනුව තමයි. දප්පුල ද ලිවේරා මහතා කළ ප‍්‍රකාශය පිළිබඳවත් කවුරුන් හෝ පැමිණිලි කරනවා නම් ඒ අනුව කටයුතු සිද්ධ වේවි.

ප‍්‍රශ්නය – පාස්කු ප‍්‍රහාරය පිටුපස මහමොළකරුවකු සිටින බව ප‍්‍රකාශ කරන පුද්ගලයන්ට සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරුණු කණ්ඩායම ඒ සඳහා යොදා ගත් බෝම්බ පිළිබඳව නිසි අවබෝධයක් පවා නොමැති බව පේන්න තිබෙනවා. එම නිසා එම කරුණු පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම වැදගත් කියලා ඔබ සිතන්නේ නැද්ද?

පිළිතුර – බොහෝ දෙනෙකු පාස්කු ප‍්‍රහාරය පිළිබඳව මාධ්‍ය හමුවට ඇවිත් කතා කරන්නේ ඒ සඳහා යොදා ගත් තාක්‍ෂණය හෝ පිළිඳව නිසි අවබෝධයකින් තොරව. ඒ පිළිබඳව අපි ඉදිරියේ දී අවශ්‍ය පරිදි කටයුතු කිරීමට අපේක්‍ෂා කරනවා.

ප‍්‍රශ්නය – 2015 දී ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්වීමෙන් පසුවත් ඊට පෙර අවස්ථාවලදීත් ඔබ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සමග වගේම ජාතික ව්‍යාපාරයේ සංවිධාන සමගත් කටයුතු කළා. මේ වනවිට විමල් සහ උදය ඇමතිවරුන් වගේම ජාතික ව්‍යාපාරයන් මේ ආණ්ඩුවේ සමහර කටයුතු විවේචනය කරනවා. නමුත් එම කරුණු සම්බන්ධයෙන් ඔබ මේ වනවිට අනුගමනය කරන්නේ නිහඬ ප‍්‍රතිපත්තියක්. ඊට හේතුව කුමක්ද?

පිළිතුර – ආණ්ඩුවේ ප‍්‍රශ්න තිබෙනවා නම් අපි එම ප‍්‍රශ්න ආණ්ඩුව ඇතුළේදීම විසඳා ගත යුතුයි. අද වනවිට රට තුළ විශාල විදේශ විනිමය අර්බුදයක් ඇති වී තිබෙනවා. මොකද අපට විදේශ විනිමය ලැබුණු ප‍්‍රධාන මාර්ග දෙකක් වන සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියාවල නිරත වීම ඇහිරිලා තිබෙනවා. ඒ වගේ ම කොවිඞ් වසංගතය මැඬලීම සඳහා කෝටි ගණනක් වියදම් කිරීමට සිද්ධ වී තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේ දී අපි සියලූදෙනාම එකතු වෙලා මෙම අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කළ යුතුයි. යම් ප‍්‍රශ්නයක් තිබෙනවා නම් එය එළියේ විවේචනය කිරීම වැරදි කියන එක තමයි මම නම් කියන්නේ.

ප‍්‍රශ්නය – මේ වනවිට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ හමුදා නිලධාරියෙක්. ඒ වගේම පොලිසිය භාර ඇමතිවරයා වන ඔබ නාවික හමුදා නිලධාරියෙක්. එම හේතුව නිසා මේ වනවිට පොලිසිය හමුදාවට යට වී ඇති බවත් විවිධ ප‍්‍රශ්න ඇතිවීමට එම තත්ත්වය හේතු වී ඇති බවටත් චෝදනා එල්ල වනවා.

පිළිතුර – ඒක වැරදියි. පොලිසිය කියන්නේ දෙපාර්තමේන්තුවක්. ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තිබෙනවා.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනප‍්‍රිය
දිවයින 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka