පසුගිය 30 වන දා ගම්පහ, කළගෙඩිහේනේදී පැවති ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් සමුළුවට බිත්තර සහ ගල් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා මත නිට්ටඹුව පොලිසියට භාර දුන් සැකකරුවන් දෙදෙනා මේ වන විට අතුරුදන් වී ඇතැයි අප වාර්තාකරු පවසයි.
නිට්ටඹුව පොලිසියට භාර දුන් මෙම පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා පොලිසිය විසින් වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.
පොලිස් ආරක්ෂාව යටතේ සිටි ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ රෝහලෙන් බැහැර කර ඇති අතර ඔවුන් මේ වන විට පොලිස් භාරයේ නොමැති බව වාර්තා වේ.
එම සැකකරුවන් පිළිබඳව පසුගිය 31 වන දා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ත්, මේ වන විට පැය 72 දෙකකට වඩා වැඩි කාලයක් ගත වී ඇත ත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ ඇප ලබා දීමට මේ වන තෙක් නිට්ටඹුව පොලිසිය අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඕ.අයි. අබේරත්න මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ, සැකකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කර යවා ඇති බව ත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට මේ වන විට පැමිණිල්ලක් ලැබී නොමැති බව ත් ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමාල් මෙන්ඩිස් මහතා පැවසුවේ, සිද්ධිය වූ දිනයේ දී ම නිට්ටඹුව පොලිසියේ ඔවුන් පිළිබඳව පැමිණිල්ලක් කළ බව ය.
උපුටා ගැනීම : මව්බිම
