දෙහිවල සත්වෝද්‍යානයේ පාලන අධිකාරියට එරෙහිව විරෝධතාවයේ යෙදෙන පිරිස සතුන්ගේ මැදිරිවල ඉබි යතුරු වෙනස් කර, ජලය විසන්ධි කර සිය ඉල්ලීම් ඉටුවනතුරු සතුන්ට ආහාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මැදිරිවල යතුරු කඩා ආහාර හා ජලය ලබා දීමට පාලන අධිකාරියට සිදුවී ඇතැයි වාර්තා වේ.
පොහොට්ටුවේ වෘත්තීය සමිතියවන ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන සේවක සංගමයේ සේවකයින් සහ ජාතික සත්ත්වොද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමයේ සේවකයින් පසුගිය 18 වැනිදා ආරම්භ කළ විරෝධතාවය අද තෙවන දිනට පැවැත්වෙද්දී මෙම තත්ත්වය ඇති වී තිබේ.
දෙහිවල සත්වොද්‍යානයේ සීබ්‍රා සතුන් එක දිගට මිය යෑම, අලින්ගේ සහ ඔටුවාගේ තුවාල සුව කරගැනීමට නොහැකි වීම, ඔරංඋටං සත්ත්වයා මිය යන තෙක්ම නිසි ප්‍රතිකාර නොකිරීම, ඖෂධ මාෆියාව, පෝෂණ අවශ්‍යතා නොසලකා හැරීම, ඇතුළු කාරණා 18ක් මුල් කරගෙන මෙම උද්ඝෝෂණය පවත්වන බව පැවසුවත් පාලන අධිකාරිය ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම අනතුරු දීමනාව ලෙස රුපියල් පන්දහසක් ලබා ගැනීම බවය.
එම රුපියල් පන්දහසේ අනතුරු දීමනාවට එකඟතාවය පල කර එහි ඉදිරි කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බව කී පාලන අධිකාරිය විරෝධය දැක්වූ අනෙක් කරුණ වූ පශු වෛද්‍යවරුන් ඉවත් කරන ලෙස කරන ඉල්ලීම් පදනම් විරහිත වීම හේතුවෙන් නිසි පරීක්ෂණයක් කර මිස ක්‍රියාමාර්ගයක් ගැනීම කළ නොහැකි බව දන්වා සිටියේය.
