”ශ‍්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීමේ සම්පූර්ණ අයිතිය IOC සමාගමට” පැවරීමට රජය තීරණය කර ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබේ.
ඊට පැහැදිලි කිරීමක් ද එක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, “පැහැදිලිකිරීම: මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය තුළ ඇති කර ගත් එකඟතාව තුළ ලංකාවේ සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතාවට ගැලපෙන ප්‍රමාණයක් IOC සමාගම විසින් මිල දී ගෙන ලංකාවට ගෙන එනු ඇත. ඉන්පසුව CPC පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණය IOC සමාගමෙන් මිල දී ගත යුතු ය,” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අපි ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතාගෙන් ද කරුණු විමසීමු.
ඔහු ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට යාමට පෙර ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවට තමන්ට දැන ගන්නට ලැබුණ බව ය.
එම යෝජනාව හරහා මෙරටට අවශ්‍ය ඉන්ධන ගෙන ඒමට අවශ්‍ය ඩොලර් රජය සතුව නොමැති බැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන බෙදාහරින පළාත් රැසක ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන සැපයීම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට පැවරීමට යෝජිත බව ය.
එම සැලසුම ක්‍රියාත්මක වුවහොත් ඉන්ධනවලින් උපයන ලාභය ශ්‍රී ලංකාවට අහිමි වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් අප ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු ප්‍රකාශ කළේ, එවැනි සැලසුමක් නොමැති බව ය.
එමෙන් ම, මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ද විමසීමක් කළේ ය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි සැලසුමක් නොමැති බව ය.
– mawbima