gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙට එක් වෙයි ද?

ඔබ හිතනව ද වත්මන් ආණ්ඩුව ඔබ වැනි ජ්‍යෙෂ්ඨයන්ට නිසි තැන දෙනවා කියලා?
ජ්‍යෙෂ්ඨකමට වඩා ප්‍රශ්නේ තියෙන්නේ අඩු ම ගානේ අපේ උගත්කමට සලකන්නෙවත් නෑනෙ. පාර්ලිමේන්තුවේ තිබූ අය-වැය විවාදය මසකට ආසන්න කාලයක් තිබුණා. මම මට ගෝචර අමාත්‍යංශ කිහිපයක් ඉල්ලුවා. මට බලශක්ති එකේ විනාඩි 10ක් දුන්නා. සාමාන්‍ය විවාදෙට විනාඩි 10ක් දුන්නා. 

අධ්‍යාපනයට කොහොම ත් උත්තර දෙන්න එපැයි. එතැන විනාඩි පහළොවක් තිබුණත් අධිකරණ අමාත්‍යංශය ගැන කතා කරන්න ලැබුණෙ නෑ. අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය ගැන කතා කරපු කථිකයන්ගෙන් විශේෂයෙන් ම සමහරු ඊළඟ සුමානෙ වෙනකොට එක්කෝ මහෙස්ත්‍රාත් අධිකරණයෙ, නැත්නම් මහාධිකරණයෙ විත්ති කූඩුවට අදිනවා. නීතිඥයන් කීදෙනා ද කතා කළේ? 

ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් තිබෙන දක්ෂ කථිකයො ඉදිරිපත් වෙන්න ඕනෑ. හැබැයි  ආචාර්යවරු, මහාචාර්යවරු ඉන්නවා ආණ්ඩු පක්ෂයෙ. හිටියට ඒ අවස්ථාව ලැබුණෙ අර හැමදා ම කතා කරපු මූණු ටිකට. සමස්තයක් ගත්තොත්  අය-වැය දා කතා කරලා තියෙන්නේ හතර පස් දෙනෙක්. ඔයා මේක ලිව්වට මට ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය රාජ්‍ය සේවයේ අවම රැකියාව වන සනීපාරක්ෂක කම්කරු තනතුරට යන්නවත් අධ්‍යාපන සුදුසුකම් නැති අය පාර්ලිමේන්තු අය-වැයෙදී කතා කෙරුවෙ.

ඔබේ ජ්‍යෙෂ්ඨත්වයට ආණ්ඩුව සලකන්නේ නැති බව ද ඔබ කියන්නේ?

ඇත්තට ම ජ්‍යෙෂ්ඨත්වයෙන් ගත්තොත් එහි මුල් පුටු දෙකේ තුනේ වාඩිවිය යුතු කෙනෙක් මම. මම 2000 පාර්ලිමේන්තු යනකොට ම ඇමතිවරයෙක්. අනිත් එක අපිට චෝදනා නෑ. ඔබට පේනවා ඇති මේ ගෙදර. 1983 මම ලංකා බැංකුවේ ඉන්නකොට ගත්ත Loan එකෙන් හදපු ගෙදර.  මට වෙන ගෙදරක් නෑ. වෙන වත්කම් නෑ. මගේ වත්කම තමයි මගේ අධ්‍යාපනය. මේ දේශපාලනය නැත්නම් මට අලුත්කඩේ තියෙනවා ඔෆිස් එකක්. නීතිඥයන් කිහිපදෙනෙක් එක්ක. අපිට බය නැතිව කතා කරන්න පුළුවන්. 

ඔබ වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් භාර ගැනීම ගැන අද පසුතැවීමක් තියෙනව ද?

ඇත්තට ම අද මේ රටේ සිදුවන දේ අනුව රාජ්‍ය පරිපාලනයෙ තිබෙන දුර්වලතා දකින අපි උසාවි ගාණේ ගිහිල්ලා නෑ. විත්ති කූඩුවට නැඟලා නෑ. අපිට බොරු චෝදනාවක්වත් නෑ.

මම අවුරුදු නවයක් කොළඹ මහාධිකරණයේ නඩු කියලා තියෙනවා. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු නඩුවට ත් මං පෙනී සිටියා. අපි වෘත්තීය ගරුත්වය රැකගෙන සේවාදායකයාට උපරිම ගරුත්වය දුන්නා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු වාරාවසානය සිදු කළා. එමගින් සියලු කාරක සභා අහෝසි වෙනවා. කෝප් කමිටුවේ හෙළි වූ දැවැන්ත වංචා, දූෂණ විමර්ශන කටයුතු සියල්ල මුල සිට ආරම්භ කරන්න වෙනවා. උදාහරණයක් විදිහට බරපතළ සීනි බදු වංචාව එහෙම. මොකක් ද මේ ගැන ඔබේ ස්ථාවරය?

ඔබ හොඳ තැනකට ආවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තියෙ තියෙනවා. ඊළඟට 70 වගන්තියේ 1,3,4 කියන උප වගන්ති වැදගත් වෙනවා මේ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීම ගැන. සාමාන්‍යයෙන් සැසිවාරය කල්දාන්නෙ යම් ආකාරයක පාර්ලිමේන්තුව අර්බුදකාරී තත්ත්වයක් මතු වුණොත්. එහෙම නැති වුණත් කරන්න පුළුවන්. මේක ජනාධිපතිවරයකුට කරන්න පුළුවන් අයිතියක් හා බලතලයක්. පාර්ලිමේන්තු සැසිවාරයක් කල් දමන්න පුළුවන් උපරිම කාලය මාස දෙකයි. 

මම අහන්නේ ඇයි හදිසියේ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ? 

මට තේරුම් ගන්න බැරි ප්‍රශ්නෙ ඇයි මෙවැනි අවස්ථාවක පාර්ලිමේන්තු සැසිවාරය කල් දැම්මේ? හේතුව අපේ රටේ මේ අවධිය විශේෂයෙන් ම කොවිඩ් - 19 තත්ත්වයත් එක්ක හැම රටක් ම අර්බුදවලට මුහුණදී තිබෙනවා. එතකොට අපේ රට ඊට වඩා අර්බුදවලට මුහුණ දී තිබෙනවා. ඩොලර් හිඟය, විදේශ විනිමය හිඟය, කාබනික පොහොර ප්‍රශ්නය නිසා ආහාර නිෂ්පාදන අඩුවීම, ගොවියන්ගේ දුක්ගැනවිලි, කර්මාන්ත ක්ෂේත්‍රය ගත්තොත් ඉදිකිරීම්, සිමෙන්ති එක් දහස් ගණන්. ටයිල් රුපියල් 700ට තිබුණු එක 2500 වෙලා. මේ වගේ හැම ක්ෂේත්‍රයක ම අර්බුද රාශියක් තිබෙනවා. 

එවැනි වෙලාවක පාර්ලිමේන්තු රැස්වීම කල් දැමීම ප්‍රශ්නයක්. ආණ්ඩු පක්ෂයට කොහොමත් තුනෙන් දෙක තියෙනවානේ. එතකොට ප්‍රශ්නයක් නෑනෙ. පාර්ලිමේන්තු පක්ෂ කණ්ඩායම පවා මේ ගැන සාකච්ඡාවට භාජන වුණා. ඒවට ග්‍රාමීය නාගරික මට්ටමින් මන්ත්‍රීවරු සම්බන්ධ වෙනවා. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව කල් දැමීමට වඩා පුළුවන් තරම් ඉක්මනින්  පාර්ලිමේන්තුව කැඳවීමයි වැදගත්. 11 වන දා රැස්වෙන්න තිබ්බෙ. මං කියන්නේ ඒක ත් කල්  වැඩියි. නමුත් ඒකත් 18 දක්වා දීර්ඝ වුණා. මේ කල්දැමීමත් එක්ක ස්ථාවර නියෝග යටතේ මේ සඳහා ප්‍රතිපාදන තියෙනවා 93 සිට 99 දක්වා. 

විශේෂයෙන් ම 77 වගන්තියෙන්. පාර්ලිමේන්තු කමිටු තියෙනවනේ. කෝපා කමිටුව වැදගත් ම. එම සභාවෙ මහාචාර්ය තිස්ස විතාරණ සභාපතිවරයා. ඒක හොඳ තෝරා ගැනීමක්. ඔහු අවංකයි. වාමාංශික දේශපාලනයෙ බොහො ම පැරණි කෙනෙක්. ජ්‍යෙෂ්ඨත්වය තියෙනවා. පළපුරුද්ද  තියෙනවා. ඊළඟට ගත්තොත් කෝප් කමිටුව. මමත් එහි සාමාජිකයෙක්. අවුරුදු හයක් හතක් තිස්සේ ම ඉන්නවා. රාජ්‍ය ව්‍යවසායන් 424ක් සම්බන්ධයෙන් මහජන මුදල් භාවිතාව සම්බන්ධ වන රාජ්‍ය ව්‍යවසායන් විගණන වාර්තාවල විගණන විමසුම් පරීක්ෂා කරන තැන. ඊළඟ එක  රාජ්‍ය මූල්‍ය කමිටුව. 

ඒකෙ තමයි ඔය ගැසට් ගහන ඒවා, බදු වැඩි කරන ඒවා, ගැසට් රිවස් කරන ඒවා මේ ඔක්කො ම එන්නෙ එතෙන්ට. රාජ්‍ය මූල්‍ය පිළිබඳව ඉතා ම වැදගත්. අනිත් එක පාර්ලිමේන්තුවට තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම තියෙන්නෙ ව්‍යවස්ථාවේ 148 වන වගන්තියෙ. checks and balance එකට ඒක කරලා තියෙන්නෙ.   

විධායකයෙ මෙහෙම තියෙනවා. පාර්ලිමේන්තුවෙ මෙහෙම තියෙනවා. අධිකරණයෙ මෙහෙම තියෙනවා. මේවා එකිනෙකට Montesquieu theory එකෙන් තමයි ගලාගෙන ඇවිත් තියෙන්නෙ. පාර්ලිමේන්තුවට තියෙන ඒ මූල්‍ය පාලන බලයට යම් කිසි ආකාරයක බලපෑමක් මෙමගින් සිදු වෙනවා. මූල්‍ය බලය ක්‍රියාත්මක වීමේදී check and balances එන්නේ මහජන ගිණුම් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව හා රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ ගිණුම් කාරක සභාව කියන මේ කමිටු තුනෙන්. 

ඒ කාරක සභා තුන ම අහෝසි වෙනවා නේ ද?

අහෝසි වෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ 18 වන දා රැස්වෙලා ව්‍යාපාර කමිටුව වෙනම රැස්වෙලා පක්ෂවලින් ආපහු නාමයෝජනා අරගෙන පත් කිරීම් කරලා ඔය කාර්ය පටිපාටිය සමහර විට මාස එක හමාරක් වත් යයි.  ඕන්නම් මාස 6ක් ගන්නත් පුළුවන්. මොක ද පත් නොකර හිටියොත්. මෙම කමිටු තුනේ ම හිටියෙ දක්ෂයො. තිස්ස විතාරණ, මහාචාර්ය චරිත හේරත්. අනිත් එකේ අනුර යාපා. මේ කමිටු තුනෙන් දෙකක ම මම ඉන්නවා ස්ථාවර නියෝග කමිටුවත් එක්ක. 

මම කියන්නේ මේ අය ඉතා විශිෂ්ට කාර්යභාරයක් කළා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වුවත්. ඒක මාධ්‍ය තුළින් ඔබත් දැක්කා. රට ම දැක්කා. ඔබ කියූ මහා සීනි බදු වංචාව, ලිට්‍රෝ කතන්දරේ, ඇත්තට ම ලිට්‍ කතාවේ නියම වගඋත්තරකරුවෝ සොයා ගන්න නම් කෝප් කමිටු වාර්තා ටික අරගෙන අප්‍රේල් වෙනකොට කරපු ටික  බලන්න. ලිට්‍රෝ සමාගම විගණකාධිපතිට විගණනය කරන්න දුන්නේ නෑ විතරක් නෙමේ ඒක වැළැක්වීම සඳහා supreme court ගියා. නීතිඥයන්ට ගෙව්වා. පස්සේ මොන ක්‍රමයකින් හරි එහි හිටපු බලධාරීන් ඉවත් කළා. රක්ෂණ සංස්ථාවනෙ මේකට වැටුප් ගෙවන්නෙ. 

ඔබ කියූ ගැසට් රිවස් කිරීම ගැන කතා කළොත් අපේ රටේ මෙපමණ කාලයකට ගැසට් රිවස් කළ එක ම ආණ්ඩුව මේක නේ ද?

ඒකට හේතුව මොකක් ද දන්නව ද? කොවිඩ් පවතින  ඕන ම තැනක අවිනිශ්චිතභාවයක් ඇති වෙන්න පුළුවන්. මේකෙන් ඊට වඩා අවිනිශ්චිතභාවයක් ඇති වෙනවා. මොක ද මේ ගැසට් එක ගැහුව ම කොච්චර කල් තියෙයි ද කියලා ප්‍රශ්නයක්.

ගැසට් පත්‍රයකට විශාල වටිනාකමක් තිබෙනවා නේ ද?

දැන් ඉතින් ඒ වටිනාකම නෑනේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා චීන පොහොර නැව සම්බන්ධයෙන් අපේ රට යම් ගෙවීමක් සිදු කළ යුතු නැති බව ත් මේකට සම්බන්ධ ඇමතිවරුන්ට දඬුවම් කළ යුතු බව ත්. නමුත් ඒ දඬුවම් දිය යුතු යැයි කතාව ඇසූ පමණින් විහිළුවක් වෙන්න පුළුවන්. ඔබේ ස්ථාවරය කුමක් ද?

කාබනික පොහොර ප්‍රශ්නය මාස හත අටක් තිස්සේ ඇදුණා. මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ කාබනික පොහොර ක්‍රියාවලිය මේ රටට හඳුන්වා දුන්නේ කියලා. ඒ තීරණයෙ අවසාන ප්‍රතිඵලය ලැබෙමින් පවතිනවා. ඇත්ත වශයෙන් කියනවා නම් ඔය කාබනික පොහොර චීනය වැනි රටවල් පවා 30%ක් තමයි භාවිත කරන්නේ. අඩු වැඩි වශයෙන් ලෝකෙ අනෙක් රටවල්වල ත් භාවිත වෙනවා. අපේ වගේ රටක අපි අවුරුදු ගණනාවක් පුරුදු වෙලා තියෙන්නේ එක දෙයක්.

බතලගොඩ පර්යේෂණායතනය වගේ වී පර්යේෂණ ආයතනවලින් වැඩි අස්වැන්න ගන්න පුළුවන් විදිහට පර්යේෂණ කරලා හැදුවේ. අපි යනෙන කොට දකිනවා කොහොම ද හදලා තියෙන්නේ කියලා. කෘමිනාශක, පළිබෝධනාශක, පොහොර මේ සියල්ලට ම යටත්ව තමයි ඒවා සකස් කරලා තිබෙන්නේ.  ඒ පොහොර ක්‍රමයයි කෘමිනාශක හා පළිබෝධනාශකයි නැතිව එකවර පරිවර්තනය කරන්න ගියා ම විශාල අභියෝගයක්. කාබනික පොහොර භාවිත කරන්න පුළුවන් නම් හොඳයි. 

ඒ ගැන විවාදයක් නෑ. නමුත් එහි අස්වැන්න අඩුයි. සහලින් ස්වයංපෝෂිත යුගය ඩී.එස්. සේනානායක යුගයෙ ආරම්භ කළේ. මගේ පෞද්ගලික මතය නම් කාබනික පොහොර  ක්‍රියාවලිය මුලින් ම ආරම්භ කරන්න තිබුණේ එක් එක් කලාපයක් තෝරාගෙන. එක්කෝ එක බීජ වර්ගයක් තෝරාගෙන. ඒ බෝග වර්ගයට ඉස්සර වෙලා  පර්යේෂණ කරන්න ඕනෑ. කන්නයක් දෙකක් හෝ තුනක් කරල ම ඒක කොහොමද භාවිත වෙන්නේ කියලා යා යුතු ක්‍රියාවලියක්. 

කෘෂිකර්ම ඇමති කියලා තිබුණා රසායනික පොහොර, පළිබෝධනාශකවලින් උතුරු මැද පළාතේ වකුගඩු රෝගය වැළඳිලා කියලා.  

පොහොර භාවිත කරන්නේ උතුර මැද විතර ද? ඇයි අම්පාර වැඩියෙන් ම පොහොර  භාවිත  කරනවා. අක්කරෙපත්තු, හම්බන්තොට, තිස්සමහාරාමය ප්‍රදේශවලත් එහෙමයි. මමත් විද්‍යා තාක්ෂණ ඇමැතිවරයා හැටියට ඉන්නකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කියෙව්වා. unknown කියලා දාලා තියෙන්නෙ තව ම නිශ්චිතව කියලා කියන්න බෑ. නමුත් සැක කරනවා බැර ලෝහ ජලයත් සමග මුසු වෙලා උතුරු මැද ජලය කිවුල කියලා. කිවුල කියන්නෙ ලවණ. 

ජලයෙ ලවණ වැඩි වෙනකොට වකුගඩුවලට බලපානවා කියලා. ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මං කියන්නේ අපි නිශ්චිතව දෙයක් දැනගෙන හැර තීන්දු ගන්න හැකියාවක් නෑ. කොවිඩ් ව්‍යාප්තිය බලන්න. අපි හිතුවෙ පළමුවන vaccine එකෙන් වෛරසය ඉවර වෙයි කියලා. නමුත් තව ම ත් ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන් ම Covid-19 ලෝක වසංගත තත්ත්වය යටතේ ආහාර හිඟයක් ආවොත් අපිට අසල්වැසි රටවලින්වත් ආහාර ගන්න බැරි තත්ත්වයකට පත්වෙනවා. 

එවැනි අවස්ථාවක අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ ආහාර සුරක්ෂිතතාවට. ආහාර සුරක්ෂිතතාව නැතිව ජාතික ආරක්ෂාව සපයන්න බෑ. තව මාස දෙකක් පෑව්වොත් අනිවාර්යෙන් ම අපිට බලශක්ති අර්බුදය එනවා. ඊළඟට ගල් අඟුරු නෑ. ඇඟළුම් කර්මාන්තවලින් අපි යම් ආදායමක් ලැබුවා. ඒකත් නෑ. පිරිවැය වැඩි වෙනවා. විදුලිය නැති වුණහ ම නිෂ්පාදන නෑ.

ඔබ යුගදවි ගිවිසුම කියවා බැලුව ද?

නෑ. කියවන්න අපට හම්බ වුණේ නෑනේ.

නමුත් මන්ත්‍රී අනුර කුමාර දිසානායක යුගදනවි ගිවිසුම පාර්ලිමේන්තුවට සභාගත කළා. ඔබ ඊට පසුව ත් කියෙව්වේ නැද්ද?

අපිට ගන්න වෙලාවක් තිබුණේ නෑ. අනිත් එක අනුර දිසානායක මන්ත්‍රීතුමා ඒ ගිවිසුම සභාගත කළේ අය-වැය දවසේ උදේ. හැබැයි හවස් වරුවේ ආණ්ඩුවෙන් කතා කරපු කිසි ම ඇමතිවරයෙක් අනුර දිසානායක මන්ත්‍රීවරයා සභාගත කළ ගිවිසුම ගැන වචනයක්වත් කතා කළේ නෑ. ඒ කතා කරපු ඇමතිවරුත් දන්නෑ යුගදනවි ගිවිසුමේ මොනව ද තියෙන්නෙ කියලා. මම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට ස්තූතිවන්ත වෙනවා ගිවිසුම ඉදිරිපත් කිරීම ගැන. 

ජවිපෙට ප්‍රතිපත්තියක් තියෙනවා. එතුමන් විසින් ගිවිසුම සභාගත කළ නිසානේ අපිත් දැක්කේ වෙනත් සමාගමක් සමඟ මේ ගිවිසුම අස්සන් කරලා කියලා. මම දැක්කා සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු සභාපතිතුමාත් ඊට පස්සේ පුවත්පත් සාකච්ඡාවකදි පැහැදිලි කරනව. එක ම පාර්ශවයේ සාක්ෂිකරුවෝ රටවල් දෙකට ම අස්සන් කරලා තියෙන්නේ කියලා. අපි නීතිඥයො හැටියට සාමාන්‍ය ගිවිසුමක් අස්සන් කරද්දිත් මීට වඩා සැලකිලිමත්. සමහර ඇමතිලා ම මේ යුගදනවි ගිවිසුම් ඉල්ලලා තියෙනවා. නමුත් අවුරුදු දෙකක් යනකන් තොරතුරු හෙළිදරව් කරන්න බෑ කියලා ගිවිසුමේ තියනවලු. මාස කිහිපයක් තිස්සේ මේ ගිවිසුම සභාගත කරන්න කියලා අනුර දිසානායක මහතා ඇතුළු කිහිප දෙනෙක් ම කිව්වා.

ඒ වගේ ම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් යම් සටනක් ගෙනියනවා මේ යුගදනවි ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්. ඒ විරෝධය ගැන ඔබට මොක ද හිතෙන්නෙ?

මේ රජය බලයට පත් කිරීමට සෑහෙන කාර්යභාරයක් ඒ අය කළා. ඒ විතරක් නෙමෙයි මහින්ද සුළඟේ ඉඳලා හිටපු පිරිස් ඉන්නවානෙ.

පොහොට්ටුව නිර්මාණය කරද්දි ත් හිටියා කියල ද කියන්නෙ?

නෑනෙ. පොහොට්ටුව හැදුවෙ වෙන කට්ටියක්නෙ. එතැන තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ පහුගිය මැතිවරණ ජයග්‍රහණ කිහිපයෙ පළාත් පාලන මැතිවරණය ඇතුළු ඒ ජයග්‍රහණවලට ඒගොල්ලො සෑහෙන කාර්යභාරයක් ඉෂ්ට කළා. එය යම් ප්‍රතිපත්ති මාලාවක් වටා ජනතාව ගොනු කළා. දේශීය සම්පත් විකුණන්නෙ නෑ, ඊළඟට මේ වගේ ගිවිසුම් පිළිබඳව ස්ථාවරය, වරාය සම්බන්ධ ස්ථාවරය, මේ හැම එකක් ගැන ම ඒගොල්ලන්ට ස්ථාවරයක් තිබුණා. 

ඒකට අනුගත වෙච්ච ජනතාව තමයි තුනෙන් දෙකේ බලය දුන්නේ. ඒ හින්දා අද ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා ජනතාවට එදා දුන් සහතිකය ක්‍රියාත්මක කරන්න බැරි වෙනකොට. ඒගොල්ලන්ට බරපතළ අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා එහෙම පෙළ නොගැහුණොත්.

ඔබත් යම් පෙරළිකාර අදහස් බොහෝ විට ඉදිරිපත් කරනවා, ඉතින් ආණ්ඩුවෙ ඉන්නෙ නැතිව එළියට ගිහින් ඔය විරෝධතාව පෙන්නුවොත් නේ ද වඩාත් වැදගත් වෙන්නේ? 

අපි ආණ්ඩුවලින් එළියට ආපු අවස්ථා තියෙනවා.

මේ ආණ්ඩුවෙනුත් එළියට එන්න බලාපොරොත්තුවක් තියෙනව ද?

2015 අගෝස්තු මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ සමග අවබෝධතා ගිවිසුමක් අස්සන් කළා. ඒ වෙනකොට මම සන්ධානයේ ලේකම්. ඒ සන්ධානය නායකයානෙ මෛත්‍රීපාල සිරිසේන මහතා. අනුර යාපා මහතා පක්ෂ ලේකම්. ඒ ඒ තනතුරු වෙනස් වුණා. ඒ අස්සන් කරපු ගිවිසුමත් එක්ක අපිට සිදුවුණා ඇමතිකමක් ගන්න. මම  විද්‍යා හා තාක්ෂණ ඇමති වුණා. නමුත් 2017 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ පසු ඔය දැන් තියෙන තෙල් ටැංකි 99න් 17ක් භාවිත කරමින් හිටියේ LIOC සමාගම. ඉතුරු 85 හවුල් ව්‍යාපාරයක් හැටියට ක්‍රියාත්මක කිරීමට  ප්‍රයත්නයක් දරමින් රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට යන්න සූදානම් වුණා. 

petroleum corporation එකේ භදඪධද සියල්ල ඊට විරුද්ධව ස්ට්‍රයික් එකක් කළා. එතකොට කැබිනට් එක පැවැත්වෙනවා. අපි සියලු ම දෙනා පාහේ ඒවෙලාවෙ ඊට විරුද්ධව හඬ නැඟුවා. මේ ප්‍රශ්න විසඳගන්න රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කල් ඉල්ලුවා. ඒ වෙලාවෙ මලික් සමරවික්‍රම යන්න හිටපු ඉන්දියානු ගමන පවා නවත්තන්න සිද්ධ වුණා. ඒ තුළ අපිට එදා සටන් කර නවත්වා ගන්න පුළුවන් වුණා. මම හදාගත්ත එකඟතාවය, වෘත්තීයභාවය, අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ  හින්දා එදා අපිට ආණ්ඩුවෙන් එළියට එන්න  සිද්ධ වුණා. අපි දාසයක් එළියට ආවා. ඒ ආවෙ  අපේ ඇමැතිකම්, වරප්‍රසාද සියලු දේ තියලා. 

මේ අවස්ථාවේ වුණත් අපේ ප්‍රතිපත්තිවලට එකඟ නැත්තම් අපි එළියට බහින්න සූදානම්. අපිට ජනතාව වෙනුවෙන් කතා කරන්න වෙනවා. අපිට තේරෙනවා නම් අපේ පළපුරුද්ද අපේ වෘත්තියභාවය, උගත්භාවයත් එක්ක මේ දේ වැරදියි කියන්න හා ඒ ගැන සාකච්ඡා වෙන තැනක් නැත්තම්, ඒකට ඇහුම්කන් දීමක් වෙන්නේ නැත්නම් අපිට ගන්න ඕන තීන්දුව යම් අවස්ථාවක ගැනීමට අපි පැකිළෙන්නේ නෑ.

ඔබ කිව්වා පාර්ලිමේන්තුවට නීති ගේන්නෙ පිටින්. අපි නීති නොදන්න බබාලා නෙමෙයි කියලා. මෙහෙම කියන්න හේතුව මොකක් ද?

එහෙම කියන්න හේතුව මම දැන් කියන්නම්. දැන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනවා කියලා නීතිඥ කණ්ඩායමකට භාර දීල තියෙනවා. හැබැයි ඉතිහාසයෙ එහෙම නෙමෙයි. සර් අයිවෝ ජෙනිස් තමයි අපිට 1948 ව්‍යවස්ථාව හදලා දුන්නෙ. 1972 ව්‍යවස්ථාව හැදුවේ පාර්ලිමේන්තුවේ පූර්ණ කාරක සභාවක් පත් කරලා. සමහරු ආවෙ නෑ. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ව්‍යවස්ථාදායක ඇමැති ලෙස හිටියා. තාක්ෂණික සහාය දෙන්න ව්‍යවස්ථාව ගැන දන්න ප්‍රවීණ නීතිඥවරු හිටියා. 

ඔවුන්ගේ තාක්ෂණික සහාය ගත්තා. දැන් රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ඒ වගේම වැඩක් කළා කමිටු 6ක් දාලා. ඒකට තාක්ෂණ කමිටු දාලා. පිටරට ගිහිල්ලා හිටපු අපේ ජේ‍යෂ්ඨ නීතිඥයන් ගෙනැල්ලා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ව්‍යවස්ථාදායකය කියන්නෙ පාර්ලිමේන්තුව. ව්‍යවස්ථාව හදන්නේ අපි. ඒ හදන ව්‍යවස්ථාවට තාක්ෂණික සහාය පිටින් ගන්න පුළුවන්. නමුත් එහෙම නොකර පිටින් හදන එකක් අද පාර්ලිමේන්තුවට ගෙනැල්ල ඒක පාස් කරලා දෙන්න කිව්වට අපිට කරන්න පුළුවන්කමක් නෑ. ජනතාව අපිට බලය දුන්නේ ඒකට නෙමේ. 

සමහරු කියනවා ඔබ මෙච්චර "ෆයිට්" කරන්නෙ ඔබ බලාපොරොත්තු වූ අමාත්‍ය ධූරය ඔබට නොලැබුණු හින්දා කියලා?

ඉතා හොඳ ප්‍රශ්නයක්. මං එකක් කියන්නම්. මං අද සතුටුයි මේ ආණ්ඩුවෙ  කැබිනට් ඇමතිවරයෙක් නොවුණු එක ගැන. මම  ඇමතිවරයෙක් වුණා නම් අද මෙතැන නෑ. අපි කැබිනට් එකේ හිටියා නම් අපි කෙළින් කතා කරනවා. එදා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැබිනට් එකේ ඉඳලා අපි එහෙම කළා. තෙල් ටැංකි ටික බේරාගන්න ගන්න බැරි ම තැන අපි අයින් වුණා. එහෙම ආත්මවිශ්වාසයක්, ශක්තියක් අපිට තියෙනවා.   

ඇයි එහෙනම් රාජ්‍ය ඇමතිකමක් භාර ගත්තේ? 

රාජ්‍ය ඇමතිකමක් ගත්තෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂය නිසා. මම දකිනවා අපි 21 වන සියවසේ තුන්වන දශකයේ ඉන්නෙ කියලා. අපේ රටේ අපේ අධ්‍යාපනය ගළපන්න ඕන ඊළඟ දශක කිහිපයට. නමුත් අපේ කට්ටියගෙ ඔළුවල තියෙන්නෙ 20 වන සියවස. මේ රටේ දරුවො වෙනුවෙන් මට කරන්න හැකි දෙයක් තියනවා නම් මං එය කරනවා.

ලෝකේ තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාල ගණනාවක ගිහිල්ලා මං දැක්කා ඒවා ක්‍රියාත්මක වුණු හැටි. අපිට ලොකු සංවේගයක් දැනෙනවා ඇයි මෙච්චර දක්ෂ අපේ දරුවන්ට ඒ මට්ටමට ඔවුන්ව ගෙනියන්න අපි දායක නොවන්නෙ කියලා. අන්න ඒ හේතුව නිසා ම පමණයි මම රාජ්‍ය අමාත්‍ය ධූරය ගත්තේ. නමුත් මේ ප්‍රතිසංස්කරණය හුදෙකලාව කරන්න බෑ.

බොහෝ ඇමතිවරු, මන්ත්‍රීවරු රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කරනවා ඔවුන් අතේ වරද තියෙන්නෙ කියලා. ඒ කාරණය කොහොම ද ඔබ භාර ගන්නෙ?

මට රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා. ජ'පුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් වගේම මම පැරිසියේ Horizon University එකේ ආචාර්ය උපාධියක් ගත්ත කෙනෙක්. මේ තියෙන අත්දැකීම් තුළින් මොකද සෑහෙන මහන්සියක් ගන්න වෙනවා ආචාර්ය උපාධියක් ගන්න. සමහරු ආචාර්යවරු කිව්වට කොළයක්වත් ලියල නෑ. නමුත් අපි දන්නවා මේ රටේ රාජ්‍ය සේවය ඉතා ම ව්‍යුහාත්මක හා සංවිධානාත්මකයි. 

මේක ප්‍රයෝජනයට ගන්න බැරිකම තමයි තියෙන්නේ. රාජ්‍ය සේවයෙ ප්‍රතිසංස්කරණ තිබිය යුතුයි, අපේ රටේ ඉතිහාසය සලකා බැලුවම මේ උගත් සංවිධානාත්මක රාජ්‍ය සේවයේ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී තිබෙන්නේ නිලධාරීන් හින්දා නෙමේ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන දේශපාලනඥයන් හින්දා. 

අපේ රටේ ඩොලර් හිඟය තියෙනවා. තව ඩොලර් බිලියන එකයි තිබෙන්නේ. තව පැත්තකින් ගෑස් පුපුරනවා. ජනතාව අද නිදාගන්න බයයි. කෑවත් මැරෙනවා නොකෑවත් මැරෙනවා වගේ. මේ කාරණාත් එක්ක මුදල් අමාත්‍යවරයා රට සංචාරයක ගිහින් තිබෙනවා. මොක ද ඔබට හිතෙන්නෙ?

2005 ඉඳලා 2010 වෙනකම් කාලේ පුරා ම මේ රටේ දරුණු යුද්ධයක් තිබුණා. ඒ අතර අපට විභාග තියන්න තිබුණා. ප්‍රධාන විභාග තිබුණා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු. උතුරු නැගෙනහිර යුද්දෙ. පාසල්වලට බෝම්බ ගහනවා. දරුවෝ බෝම්බ පුපුරා මැරුණා. ඩී.එස්. එකේ දරුවෝ හයක් මැරුණ කොටුව ස්ටේෂන් එකේදි. ඒ අභියෝගාත්මක වෙලාවේ අපි රට ගියේ නෑ. අපිට ඊට වඩා වැදගත් වුණේ මේ වැඩ ටික. මම තෙල් විෂය භාර ඇමති වෙලා ඉන්නකොට මට සමහර දාට නින්ද යන්නෙ නෑ. තෙල් නැවක් එද්දි කොහේ හරි බෝම්බයක් පුපුරයි කියලා. අපි සංවේදී වුණා. 

මං දන්නෙ නෑ මෙවැනි අවස්ථාවක රටේ මූල්‍ය අර්බුදයක් පැහැදිලිව තියෙන ඩොලර් නැති මොහොතක එහෙම වෙන්නෙ කොහොම ද කියලා. අත්‍යවශ්‍ය බෙහෙත් නෑ. කිරිපිටි වෙනුවට දැන් කියනවා දියර කිරි භාවිත කරන්න කියල. මේ මාසේ දෙකේ තුනේ පහේ ළමයින්ට පුළුවන් ද දියර කිරි බොන්න. අමෙරිකාවේ ඒවට ප්‍රතිශතය ගහලා තියෙනවා. ක්‍රමවේද තියෙනවා. අපේ රටේත් බෙහෙත්වලට, තෙල්වලට, කිරිපිටිවලට, ගල් අඟුරුවලට ඕනෑ ම විෂයක් භාර ඉන්න කෙනෙක්ගෙ යුතුකම හා වගකීම තමයි විෂය මෙහෙයවීම. ඉතා බැරෑරුම් අවස්ථාවක් මේ. සමහර විට මුදල් ඇමතිවරයා මුදල් හොයන්න රට ගියා ද දන්නෑනෙ මේ වෙලාවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ගැන ආණ්ඩුවේ මත දෙකක්? 

මගේ පෞද්ගලික මතය අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF එකට) යන්න ඕනැ. ඒක අමෙරිකානු බැංකුවක් නෙමේ. දෙවන ලෝක මහා යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ රටවල් බොහොමයක් ම වගේ සාමාජිකත්වය දරනවා මේකෙ. මම බැංකුවක ගනුදෙනුකරුවෙක් නම් මට හදිසි මුදල් අවශ්‍යතාවක් ඇති වුණොත් මම කොහාට ද යන්නෙ. බැංකුවට ගිහිල්ලා මේ වගේ 2009, 2010 වෙනකොට අපි ලබාගත්තා ඩොලර් මිලියන 2.5ක් IMF එකෙන්. සංචිත ශක්තිමත් කරන්න. 2010, 2011 තමයි රටේ වැඩි ම ආර්ථික සංවර්ධනය වුණේ. අද සමාජය පසුබෑමට ලක් නොවුණු එක කොටසක් මට කියන්න.

අද රටේ හැටනව ලක්ෂයක් නැද්ද එතකොට?

අපි හැටනම ලක්ෂයට චෝදනා කරල බෑ. මොක ද ඡන්දය දුන්නු අය තමයි අද වැඩිපුර දුකෙන් ඉන්නෙ. එදා ජාතික ආරක්ෂාව ගැන හිතලා ඊට ප්‍රමුඛතාව දීලා ඔවුන් ඡන්දෙ දුන්නෙ. අපි Covid-19 පාලනය කරන්න අනෙක් රටවල් එක්ක බලද්දී විශාල කර්තව්‍යයක් කරලා තියනවා. ඒක අගය කරන්න ඕනැ. හැබැයි ඒ එක්ක ම මතුවෙලා තියෙනවා ආහාර ආරක්ෂාවයි, බලශක්ති ආරක්ෂාවයි.

අද ජනතා විමුක්ති පෙරමුණ සිටින තත්ත්වය ගැන ඔබට කොහොමද දැනෙන්නේ? එවැනි පක්ෂ සමග ගනුදෙනු කරන්න කැමැත්තක් නැද්ද?

ජනතා විමුක්ති පෙරමුණ සමග අපේ රටේ මම තරම් ගනුදෙනු කළ වෙනත් දේශපාලනඥයෝ නැතිතරම්. 2004 පෙබරවාරි මාසේ පාර්ලිමේන්තුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියව ඉද්දි මම ලංකාවේ හිටියෙ නෑ. පක්ෂ මහ ලේකම් ධූරයට පත්කර ගෙන මට දුරකතන ඇමතුමක් දීලා කිව්වා මට ඉක්මනට එන්න කියලා. මාව ලේකම් ධූරයට පත් කරනකොට ඊට සම්බන්ධ වුණේ ශ්‍රී ලනිපය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඒගොල්ලො තමයි ප්‍රධාන ම හවුල්කාර පක්ෂ දෙක ඒ. ඊට පස්සේ තමයි හවුල්කාර පක්ෂ විදිහට අනෙක් අය ආවේ. ජනතා විමුක්ති පෙරමුණ එක්ක ඉතා පහසුවෙන් නාමයෝජනා අස්සන් කරන්න පුළුවන්. 

කිසි ම හේතුවකට නමක් නැවත කපන්නේ නෑ. සියලු දේ ඉතා පිරිසුදුව කරන පක්ෂයක් ජනතා විමුක්ති පෙරමුණ. එදා ආණ්ඩුවෙ සුනාමි සහන මණ්ඩලය හින්දා ඒගොල්ල ඉවත් වුණත් ඔවුන් හොඳ දෙයක් කළා. ඒ ආණ්ඩුව වට්ටලා ගියෙ නෑ. ස්වාධීන කණ්ඩායමක් හැටියට ඉවත් වෙලා ගියා. ජවිපෙට ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙන්න කිසි ම වුවමනාවක් තිබුණෙත් නෑ. ඒ වගේ ම ජවිපෙ ප්‍රතිපත්ති හොඳයි. දැන් විපක්ෂය ලෙස ප්‍රමුඛව වැඩ කරන්නෙ ජනතා විමුක්ති පෙරමුණ. 

ඒ ගැන කිසි ම තර්කයක් නෑ. දැන් ඉන්න නායකයන් සමග මං ඉන්න කාලෙදී ඉතා ම සහයෝගයෙන් වැඩ කළා. සුනාමි සහන මණ්ඩලයට ආව නම් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. රජයක් නිවැරදි දිශාව වෙනස් කරන්න යොමු කරන්න මුර බල්ලන් වගේ පිරිසක් ඉන්න ඕනෑ. නැත්නම් ඒ ආණ්ඩුව නිවැරදි තැනට ගේන්න බෑ. මේ ආණ්ඩුවෙත් මුර බල්ලො විදිහට කොටසක් හිටියත් ඒ අයට ක්‍රියාත්මක වෙන්න බෑ. මුර බල්ලා බැඳලා ඉන්නේ.

ප්‍රබල චෝදනාවක් තියෙනවා අය-වැයෙන් 75%ක් ම වෙන් කර තිබෙන්නේ රාජපක්ෂ පවුලට කියලා?

රාජපක්ෂලා බලයට පත් කළේ ජනතාව ම යි. මොනරාගලින් ආවා පළමුවැනියට. හම්බන්තොටින් ආවා පළමුවැනියට. මාතරෙන් ආවා පළමුවැනියට. කුරුණෑගලින් ආවා පළමුවැනියට. ඒවගේ ම මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු පහක් යනකොට පැරදුණා. මම මහ ලේකම් ඒ වෙලාවේ. ඊළඟට පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතා නොවැම්බර 20 ප්‍රකාශයට පත් කළා. ඒ නිසා මේ රජයට වුණ ත් වැරදි නිවැරදි කරගන්න පුළුවන් අවුරුදු තුනක් තියෙනවා. හැබැයි මේ විදිහට රාජ්‍ය පාලනයේ දුර්වලතා දිගට ම පෙන්නගෙන යනව නම් රට තවත් අර්බුදයෙන් අර්බුදයට යනවා. ජනතාවට තවදුරට ත් දරාගන්න බැරිවෙයි. ඔවුන් විසඳුමක් අනිවාර්යෙන් ම ගනී.

සංවාදය - අනුරාධා හේරත්
gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka