තුනෙන් දෙකේ බහුතර බලයකින් ආණ්ඩු අයවැය සම්මත කර ගත්තත් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව ඉදිරියේ දී මේ බලය උරගා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අභියෝග කළේය.
ජනතා ප්‍රශ්න පිළිබඳව කිසිදු අවබෝධයක් නැති ආණ්ඩුව මේ රට ගොඩ නගනවා වෙනුවට සිදු කරමින් සිටින්නේ රටේ සම්පත් සියල්ල හොර රහසේ කැබිනට් මණ්ඩලයටත් නොදන්වා පිටරටවල් වලට විකුණා දැමීම බවද පැවසීය.
අද වන වන විට ඉතාමත්ම තීරණාත්මක ලෙස බලශක්තිය අනාරක්ෂිත භාවයක් රට තුළ නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එහි ප්‍රතිඵල අතිශයින් කනගාටුදායක වනු ඇති බවද පැවසීය. අමු අමුවේ කුණුකොල්ලෙට මහදවල් යුගදනවි බලාගාරයේ කොටස් විකුණා දමමින් මහා විනාශයක් රටට සිදු කර ඇති ආණ්ඩුව, රටේ ආරක්ෂාව සමඟද සෙල්ලම් කරමින් සිටින බව විපක්ෂ නායකතුමා පැවසීය.
රටම නොමග යවමින් ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මේ මහා විකිණීමට එරෙහිව සමග ජන බලවේගය කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව විසින් විකුණනු ලබන මේ ජාතික සම්පත් මිලදී නොගන්නා ලෙස ද පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් ජනතාව කියා සිටියේ 2024 ඔබතුමා ජනාධිපති වීමෙන් පසු දැනට මතුව ඇති ප්‍රශ්නවලට ඇති විසදුම් ඉදිරිපත් කරන ලෙසය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට” ජනතා ගැටළු විමසන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අද (11) අවිස්සාවේල්ලේ දී පැවැත්විණි.සමගි ජන බලවේගයේ අවිස්සාවේල්ල සංවිධායක ධනුෂ්ක කොඩිතුවක්කු විසින් සංවිධානය කළ මෙම වැඩසටහනට අවිස්සාවේල්ල හිටපු සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න, හිටපු මන්ත්‍රී නිමල් ආර්. පීරිස්, අවිස්සාවේල්ල සහය සංවිධායක ගයාන් දුමින්ද ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
වර්තමානයේ රටේ පවතින්නේ වෙන්දේසි ආණ්ඩුවක් බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ ජනතාව එදා වේල කන්න නොහැකිව සුසුම් හෙළත්දී ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවද පැවසීය. ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඇති ආණ්ඩුව රටේ සියලු ක්ෂේත්‍ර මහා ව්‍යසනයක් වෙත තල්ලු කොට ඇති බවද කීය.