gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර බලධාරීන්ට දැනුම් නොදුන් බව නිලන්ත ජයවර්ධන අධිකරණයේදී පිළිගනී!

බුද්ධි ප්‍රධානියා හා රටේ ජනාධිපතිවරයා අතර සමීප සම්බන්ධතාවක් ඇති බැවින් සමහර තොරතුරු රාජ්‍ය නායකයාට පමණක් ලබා දෙන දේශපාලන වාතාවරණයක් පැවති  අතර ජනාධිපතිවරයා හා බුද්ධි ප්‍රධානියා අතර සෘජු ගනුදෙනුවක් තිබු බව වත්මන් පොලිස්පති සී .ඩී. වික්‍රමරත්න මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ සාක්ෂි ලබා දෙමින් පැවසීය.

පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට අදාළව නිසි ක්‍රියාමාර්ග නොගෙන වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම  සදහා වත්මන් පොලිස්පති සී .ඩී. වික්‍රමරත්න මහතා ප්‍රථම වරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබා දුන්නේ ය.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව ඊයේ පස් වන දිනට කැඳවනු ලැබිණි.

එසේ ම රාජ්‍ය බුද්ධි ප්‍රධානියා තමන්ට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට දැනුම් දිය යුතුව තිබු බව පොලිස්පතිවරයා අධිකරණය හමුවේ විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

නීතිඥවරයා: ඔබට දැනුවත්භාවයක් තියෙනව ද බුද්ධි ප්‍රධානියා විසින් තමන්ට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව දැනුවත් කළ යුතුයි කියා?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: ඔව් ස්වාමිනි, මා දැනුවත් වී තියෙනවා.

විනිසුරුවරයා: ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් බුද්ධි අධ්‍යක්ෂකවරයා තමන්ට ලැබෙන තොරතුරු කාට ද දැනුම් දිය යුත්තේ?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: ආරක්ෂක අමාත්‍යංශ කවුන්සිලය, ආරක්ෂක ලේකම්, පොලිස්පති, ත්‍රිවිධ හමුදාව යන අයට දැනුම් දීමට හැකිය ස්වාමීනි.

විනිසුරුවරයා: එය වගකීමක් ද නැත්නම් එසේ දැනුම් දෙන්න හැකියාව තියනව ද ඒ වගේ දෙයක් එවැනි රැස්වීමකදී අවධානය යොමු කරන්න?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: හැකියාව තියනවා ස්වාමිනි.

නීතිඥවරයා: බුද්ධි අංශය විසින් කළ යුතුව තියෙන්නේ තොරතුරු රැස් කරන එක පමණක් ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: නෑ ස්වාමිනි, තොරතුරු රැස් කිරීම , ඒවා වැඩි දියුණු කිරීම හා බෙදා හැරීම බුද්ධි අංශය කළ යුතු යි.

විනිසුරුවරයා: බුද්ධි අධ්‍යක්ෂකට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්න ද ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී තීරණ ගැනීමේ හැකියාව තියෙනවා ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: එහෙම ක්‍රමවේදයක් ගැන මට අවබෝධයක් නෑ ස්වාමීනි.

නීතිඥවරයා: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සියලු දෙනා රැස්වීමක සිටින අවස්ථාවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට දැනුම් දීමක් කළ විට එය ඔවුන්ට නොසලකා හැරීමේ හැකියාව තියෙනවා ද?

සාක්ෂිකාර වික්‍රමරත්න: නැහැ ස්වාමිනි.

නීතිඥවරයා: පොලිස් අඥා පනත අනුව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පොලිස් නිලධාරියෙකු ලෙස සලකනවා ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: ඔව් ස්වාමීනි.

නීතිඥවරයා: රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පොලිස් අඥා  පනත අනුව  පොලිස් නිලධාරියකු ලෙස ක්‍රියා කළ  යුතු බවට ඔබ පිළිගන්නවා ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: ඔව් ස්වාමිනි. මා පිළිගන්නවා.

නීතිඥවරයා: රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් අප්‍රේල් මස 09 වන දින පොලිස්පතිවරයා වෙත යවන ලද තොරතුර ඔහු විසින් විශේෂ කාර්ය බලකාය, අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත යොමු කර තිබුණා. ඔවුන්ට දැනුවත්භාවයක් නැද්ද මේ වගේ කොළයක් ලැබුණ ම මේ වගේ දෙයකදී ගන්න ඕන පියවර පිළිබඳව.

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: දැනුමක් තියෙන්න ඕන ස්වාමිනි.

නීතිඥවරයා: අද දින ඔබ විසින් සාක්ෂි ලබා දෙන්නේ පොලිස්පතිවරයෙකු වශයෙන් ඔබට අවේණික ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳව නේ ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: ඔව් ස්වාමිනි.

නීතිඥවරයා: යම් කිසි කරුණක් සම්බන්ධයෙන් ඔබ ගන්න ක්‍රියා මාර්ග හා මීට පෙර හිටපු පොලිස්පතිවරයෙක් ගන්නා ක්‍රියාමාර්ග වෙනස් වීමේ හැකියාව තියෙනවා නේ ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: ඔව් ස්වාමිනි.

නීතිඥවරයා: ඔබ ගන්න ක්‍රියාමාර්ග ම අනිත් පොලිස්පතිවරු ගන්න ඕන කියලා නියමයක් තියනවා ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: නෑ  ස්වාමිනි.

විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: ඔබ පොලිස්පති තනතුරට පත් වීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ කොපමණ කලක් සේවය කළා ද?

සාක්ෂිකාර වික්‍රමරතන මහතා: වසර නමයක් පමණ ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්: වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසිය තුළ  නිලධාරීන් කොපමණ පිරිසක් ඔබව යටතේ සිටිනවා ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: අසූ පන් දහසක පමණ නිලධාරීන් පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිනවා ස්වාමිනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැවරෙන වගකීම් මොනවා ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස පොලිස්පතිවරයාට නීතිය හා සාමය රැකීමේ බලතල හිමි වෙනවා . එය ඉතා ම භාරදුර වගකීමක්. එය රාමුවකට සිමා කරන්න බැහැ , රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ප්‍රබල චරිතයක් වනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා: රාජ්‍ය බුද්ධි අංශය දෙන තොරතුරක් 100% සම්පුර්ණ විය යුතු ද පරීක්ෂණයක් කිරීමට පොලිස්පතිවරයාට?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: නෑ  ස්වාමිනි. ලැබෙන තොරතුර විමර්ශනය කරලා ක්‍රියා කරන්න ඕන පොලිස්පතිවරයා විසින්. පොලිස්පතිවරයා සෑම  විට ම මට නොපෙනෙන පැත්තක් තියනවා යනුවෙන් සිතා තම නිලධාරීන් සමග සාකච්ඡා කර තීරණ ගන්න ඕන. නැතිනම් සමහර  අවස්ථා තියනවා තනි තීරණ ගන්න සිදු වන. හැම දේට ම පෙර සුදානම්  වෙන්න ඕන.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා: ඔබ යටතේ විවිධ අංශ ක්‍රියාත්මක වෙනවා. ඒ අංශවල ප්‍රධානීන් ඔබට ලබා දෙන වාර්තා සම්බන්ධයෙන් ඔබගේ ක්‍රියාමාර්ග මොනවා ද?

සාක්ෂිකාර වික්‍රමරත්න මහතා: එක එක විෂයන් සඳහා විශේෂඥයන් පත් කර තියෙනවා, පොලිස්පතිවරයා වෙත යම් කිසි ලිපියක් ලැබුණ විට ඒ පිළිබඳව තීරණය ගැනීමට අවශ්‍ය නම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත යොමු කර ඒ අය හරහා පොලිස්පති වෙත යොමු කරනවා , පොලිස්පතිවරයා වෙත සෘජුව ලැබුණු ලිපි සම්බන්ධයෙන් ඔහු ඊට අදාළ අයට උපදෙස් ලබා දෙනවා. සමහර ලිපි තියෙනවා ඒ ලිපි අවසන් වන තෙක් පොලිස්පතිවරයාගේ අවධානය යොමු වෙන්නේ නෑ . ඒවා බලන්න වෙන ම අය පත් කරනවා . අවසන් වාර්තාව තමයි පොලිස්පතිවරයාගේ අවධානයට ලක් වෙන්නේ. මේක තමයි ක්‍රියාවලිය.

වත්මන් පොලිස්පති වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ එලෙස සාක්ෂි ලබා දුන්නේය. මෙම නඩුවේ පළමු සාක්ෂිකාර හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේ ය.

නඩුවේ පළමු සාක්ෂිකාර හිටපු බුද්ධි අංශ  ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ පළමුව සාක්ෂි ලබා දෙමින් තමාට අප්‍රේල් 20 වන දින වන තෙක් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිදු බුද්ධි තොරතුරක් හිටපු පොලිස්පතිවරයා වෙත ලබා දී නොතිබූ බවත් සහරාන් සම්බන්ධයෙන් වූ තොරතුරු පමණක් ලබා දී තිබු බවත් සඳහන් කළේ ය.

විත්තිකාර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා විසින් අසන ලද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා එසේ සඳහන් කළේ ය.

නීතිඥවරයා: අප්‍රේල් 04 වන දින ලැබුණ තොරතුර 20 වන දින සවස නැවත විදේශ තොරතුරක් ලැබෙන තෙක් එය  බුද්ධි තොරතුරක් බවට පත් කර ගැනීමට නොහැකි වුවා නේ ද ඔබට?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: එතෙක් නිශ්චිතව ප්‍රහාරයක් පිළිබඳව තොරතුරක් ලැබී තිබුණේ නෑ ස්වාමිනි.

නීතිඥවරයා: රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස 04 වන දින ලැබුණු තොරතුර සම්බන්ධයෙන් යුහුසුළුව කටයුතු කර ගත යුතු පියවර ගත්තා නම් එය බුද්ධි තොරතුරක් බවට පත් කර ගන්න ඔබට හැකියාව තිබිය යුතුයි නේ ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: බුද්ධි තොරතුරු එසේ ඉක්මනින් ගන්න බැහැ . අපි ක්‍රමානුකුලව ලැබෙන තොරතුරු බුද්ධි තොරතුරු බවට පත් කර ගන්න ක්‍රියා කළ යුතුයි ස්වාමිනි.

නීතිඥවරයා: අප්‍රේල් මස 20 වන දින තෙක් ලැබුණ තොරතුර බුද්ධි තොරතුරක් කරන්න බැරි වුණා නේ ද ඔබට?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: ඔව් බැරි වුණා ස්වාමිනි. අප්‍රේල් මස 20 වන දින සවස 4.12 වන තෙක් තැන් 8කට ගහනවා කියලා අපිට නිශ්චිත තොරතුරු ලැබුණේ නෑ.

නීතිඥවරයා: 20 වන දින පස්වරු 4.12 තොරතුරු ලැබීමෙන් අනතුරුව 21 වන දින උදෑසන 8.27 වන තෙක් ඔබලා ගත් ක්‍රියාමාර්ග මොනවා ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: 20 දින 4.12 තොරතුර ලැබුණා ම මා පළමුව තොරතුරුකරුට කතා කළා . දෙවතාවක් ඔහුට කතා කර තොරතුර පිළිබඳව විස්තර ලබා ගත්තා. ඉන් අනතුරුව මා ජාතික බුද්ධි ප්‍රධානියාට, පොලිස්පතිට, ආරක්ෂක ලේකම්වරයාට වට්ස් ඇප් මාර්ගයෙන් දැනුම් දුන්න. අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට දැනුම් දුන්නා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා කොළඹ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දුන්නා.

නීතිඥවරයා: විදේශ තොරතුර ලැබුණේ නැත්නම් ඔබලා එතෙක් පරීක්ෂණ අවස්ථාවේ නේ ද හිටියේ?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: ඔව් ස්වාමිනි. හැබැයි අපි වසර ගණනාවක සිට සහරාන්ගේ ක්‍රියා දැක්කා. අපි කිව්වා මෙයාව අත්අඩංගුවට අරගෙන නැවත සමාජගත කිරීමට කටයුතු කරන්න කියලා.

විනිසුරුවරයා: බුද්ධි තොරතුරක් පමණක් ප්‍රමාණවත් ද කෙනෙක්ව අත්අඩංගුවට ගැනීමට?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නෑ ස්වාමිනි.                

නීතිඥවරයා: මෙය වැදගත් තොරතුරක් වුණා නම් ඇයි ඔබ රටේ ප්‍රධානියාට කිව්වේ නැත්තේ?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: අප්‍රේල් 20 වන දින සවස 6.20 පමණ මා ජනාධිපතිවරයා ඇමතීමට උත්සහ කරා. ඔහු සම්බන්ධ වුණේ නෑ.

නීතිඥවරයා: ජනාධිපතිවරයාට ඔබ එස්.එම්.එස්. පණිවුඩයක් යැවුව ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නැහැ ස්වාමිනි.

නීතිඥවරයා: ජනාධිපති ලේකම්ට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්න ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නෑ ස්වාමිනි.

නීතිඥවරයා: මේ සම්බන්ධයෙන් ඔබ ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධාන නිලධාරියා දැනුවත් කළා ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නෑ ස්වාමිනි.

නීතිඥවරයා: ඇයි මේ වගේ දෙයක් මේ රටේ ප්‍රධානියාට දැනුම් දුන්නේ නැත්තේ ඔබ?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: මා විතරක් නෙවෙයි ස්වාමිනි තව අය සේවයේ යෙදී සිටියා. මා මට පුළුවන් අයට දැනුම් දුන්නා. අනිත් අයටත් දුරකතන තිබුණා. ඒ අයත් තමන්ගේ රාජකාරි කරන්න තිබුණා ස්වාමිනි.  

නීතිඥවරයා: රටේ ආරක්ෂක ඇමති ලෙස කවුද හිටියේ?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: මෛත්‍රිපාල සිරිසේන මහතා ස්වාමිනි.

නීතිඥවරයා: අප්‍රේල් මස 09 වන දින සිට 20 වන දින දක්වා ඔබ ජනාධිපතිවරයාට කී වරක් කතා කළා ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: රට යන්න කලින් කතා කළා ස්වාමිනි. අප්‍රේල් මස 13 වන දින ත් කතා කළා ස්වාමිනි.

නීතිඥවරයා: මා යෝජනා කරනවා ඔබලා කළේ තොරතුරු රැස් කරන එක විතර යි වෙන දෙයක් නෑ කියලා.

සාක්ෂිකාර ජයවර්ධන මහතා: ස්වාමිනි තොරතුරු රැස්කර බුද්ධි තොරතුරු බවට පත් කරලා ලබා දීල තියෙනවා.

විනිසුරුවරයා: 21 වන දින ඔබට ලැබුණ තොරතුර ඔබ පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ කියට වගේ ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: උදෑසන 8.27 පමණ මා පොලිස්පතිවරයා වෙත පණිවිඩය යොමු කළා.

විනිසුරුවරයා: පොලිස්පතිවරයාට පණිවිඩය ලබා දෙනකොට ප්‍රහාරය සිදු වී ඉවර ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නෑ ස්වාමිනි.

විනිසුරුවරයා: ඔබට 21 වන දින මුල් පණිවිඩය ලැබුණේ කීයට ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: උදෑසන 8.27ට පමණ ස්වාමිනි.

විනිසුරුවරයා: 20 වන දින සවස 4.12ට ලැබුණ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ඔබ ජනාධිපතිවරයා දැනුවත් කළා ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නෑ ස්වාමිනි. ඔහු දුරකතනයෙන් කතා කළේ නෑ.

විනිසුරුවරයා: ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන්නා ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නෑ  ස්වාමිනි.

විනිසුරුවරයා: ඔහු කොහෙ ද හිටියේ කියා ඔබ බැලුවා ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නෑ  ස්වාමිනි.

විනිසුරුවරයා: එවිට අග්‍රාමාත්‍යවරයා රටේ සිටියා. ඔහුට දැනුම් දුන්නා ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නෑ  ස්වාමිනි.

විනිසුරුවරයා: විපක්ෂ නායකවරයාට දැනුම් දුන්නා ද?

සාක්ෂිකාර ජයවර්ධන මහතා: නෑ ස්වාමිනි.

මේ අනුව නඩුවේ පළමු සාක්ෂිකාර හිටපු බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාගේ දින පහක සාක්ෂි ලබා දීම  අවසන් විය.  ඔහුගේ සාක්ෂි ලබා දීම අවසන් වීමෙන් අනතුරුව වත්මන් පොලිස්පතිවරයාගේ සාක්ෂි මෙහෙයවීම ආරම්භ විය. නමුත් පොලිස්පතිවරයා අධිකරණය හමුවේ නියමිත වෙලාවට පෙනී නොසිටීම මත අධිකරණය විනාඩි 15 කට කල් තැබීය. එම අවස්ථාවේ සාක්ෂිකරුවෙකු තමාට ඕන වෙලාවට නොව අධිකරණය දැනුම් දෙන වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka