පාර්ලිමේන්තුවේ වියදම් අඩු කිරීම සඳහා මන්ත්රීවරුන්ගේ කෑම බිල අඩු කළ යුතු බව යෝජනා කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරයෙක් කතානායකවරයාට ලිපියක් බාර දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට වැටුප් , නිල නිවාස , මුද්දර ගාස්තු , ඉන්ධන ගාස්තු ලබා දෙනවා මදිවට අඩුවට කෑම වේලක් ලබාදීම වැරදි බවයි මේ මන්ත්රීවරයා සඳහන් කරන්නේ.
ඒ සදහා වූ යෝජනාවක්ද ඔහු ඉදිරිපත් කරනවා.
උදේ හා දවල් කෑම
මන්ත්රීවරයාගේ යෝජනාවට අනුව උදේට සහ දහවලට කෑම දීමට සිදුවන්නේ පාර්ලිමේන්තුව උදේ 10 ට ආරම්භ කරන නිසයි.
එසේ ආරම්භ කොට පැය දෙකකින් යළිත් දිවා ආහාරය නතර කරන බැවින් උදේ සහ දහවල් ආහාර වේල යන දෙකම මන්ත්රීවරුන්ට ලබා දීම වලක්වා ගැනීමට හැකි අදහසක් ඔහු කියනවා.
ඒ පාර්ලිමේන්තුව දහවල් 1ට ආරම්භ කොට සවස 6ට පමණ අවසන් කිරීමයි.
ගෙවල් අත ළඟ
එවිට මන්ත්රීවරුන්ට ගෙදරින්ම උදේට පමණක් නොව දවල්ටත් කෑම කා පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි බවයි මන්ත්රීවරයා පෙන්වා දෙන්නේ.
එවිට මන්ත්රීවරුන්ට ලබා දීමට සිදුවන්නේ සවස තේ පානය පමණක් බවයි මන්ත්රීවරයා අවධාරණය කරන්නේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සියල්ලන්ටම කොළඹ හෝ කොළඹ අවට නිවෙස් තිබෙන බව පෙන්වා දෙන මන්ත්රීවරයා එසේ නිවෙස් නොමැති අයට පාර්ලිමේන්තුව පේන දුර තිබෙන මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාස හිමිව තිබෙන බවයි සඳහන් කරන්නේ.
මන්ත්රී කෙනෙකුට මාදිවෙල නිවාස සංකිර්ණයේ නිවසක් නැත්නම් ඒ තමාගේ නිවස වෙන කෙනෙකුට දී තිබීම නිසා බව පෙන්වා දෙන මන්ත්රීවරයා තමා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ මාදිවෙල නිවසේ කෑම පිසා හොඳට කාලා බවයි සඳහන් කරන්නේ.
කන්න නැති මිනිස්සු
නිසි වේල කන්න නැති මිනිස්සු මේ ලංකාවේ ඉන්න බවද පෙන්වා දෙන මන්ත්රීවරයා වැටුපකුත් දීලා , නිවසකුත් දීලා පාර්ලිමේන්තුවේ කන්නත් වෙනවා නම් එය සදාචාර දැයි ප්රශ්න කරනවා.
මන්ත්රීවරුන්ගේ කෑම වේලට තහංචියක් දාන මේ අපූරු කාලීන යෝජනාව ගෙනෙන්නේ රටේ එතරම් ප්රසිද්ධියක් නැති මන්ත්රීවරයෙක්.
ඔහු අනුරාධපුර දිස්ත්රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී කේ.එච්. නන්දසේන මහතායි.
