සතොස වෙළෙඳසල් 400 මගින් ඉදිරි සතියක කාලයේ අලෙවි කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 4000 ක් මිලදී ගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරයකට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් කිසිවකුත් මිල ගණන් ඉදිරිපත් කර නොතිබූ බව අනාවරණය වෙයි. ටෙන්ඩර විවෘත කිරීම වෙළෙඳ අමාත්‍යාංයේදී ඊයේ (6 වැනිදා) පස්වරුවේ සිදු විය.
ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කර තිබුණේ සුළු පරිමාණ සහල් මෝල් හිමියන් පස් දෙනකු පමණකි. එම සහල් මෝල් හිමියන්ට ඉදිරිපත් කළ හැක්කේ සහල් මෙට්‍රික් ටොන් 1500 කටත් අඩු ප්‍රමාණයක් බව මෙහිදී අනාවරණ විය.
සුදු කැකුළු, නාඩු, සම්බා හා කීරි සම්බා වර්ගවලින් සහල් මෙට්‍රික් ටොන් 1000 බැගින් මිලදී ගැනීමට මෙම ටෙන්ඩරය කැඳවා තිබුණි. ඊයේ (6 වැනිදා) දිනයේදී සතොස වෙළෙඳසල්වල සම්බා හා කීරි සම්බා අලෙවි නොකළ බවද වාර්තා වෙයි. ඒ අවශ්‍ය තරම් සහල් තොග නොලැබීම හේතුවෙනි. රතු හා සුදු කැකුළු මෙන්ම නාඩු සහල් පාලන මිලට කිලෝග්‍රෑම් පහ බැගින් එක් පාරිභෝගිකයකුට අලෙවි කිරීමට සතොස ආයතනය පියවර ගෙන තිබුණි. දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසල් ජාලයේද සම්බා හා කීරි සම්බා අලෙවි නොකළ බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් සහල් සඳහා පාලන මිල පැනවීමෙන් පසු සහල් සැපයුම අඩාළ කිරීමට සහල් මෝල් හිමියන් සූදානම්වන බව වාර්තා කළේය.
පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් දෙදෙනාට සහල් ලොරි 30-40 ක් වෙළෙඳපොළට නිකුත් කරද එහෙත් පෙරේදා (5 වැනිදා) දිනයේදී එම මෝල්වලින් ලොරි රථ දෙක බැගින් පමණක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද අනාවරණය වේ.
– aruna
