gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බදියුදීන්ගේ අධිකරණයට ගෙනා අවස්ථාවේ අධිකරණයේ අසුන්ගෙන සිටි අමුත්තා සහ සිදුව‍ූ සියල්ල ‌මෙන්න

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය. ඒ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදීය.

16 හැවිරිදි ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති දැරිය පිලිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් ඔවුන්ව නම් කර ඇත.

සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් බන්ධනාගාරය අභ්‍යන්තරයේ පරීක්ෂණයක් සිදුකිරීම හේතුවෙන් සහ ඔහුගේ බිරිඳ හා මාමණ්ඩිය මෙම පරීක්ෂණයට අදාළ සාක්ෂි යටපත් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වී ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඇප පනත යටතේ ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රිෂාඩ් බදුයදීන් මහතාගේ මස්සිනා වන මොහොමඩ් ඉස්මත් නමැත්තා සම්බන්ධයෙන් තවදුරටත් සාක්ෂි අනාවරණය  නොවීම හේතුවෙන් ඔහු රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බව ද එහිදී නියෝග කළාය.

ඊට අමතරව එම සැකකරු සෑම මසකම අවසන් ඉරුදින මැදවච්චිය පොලීසියට වාර්තා කළ යුතු බවටද ඇප කොන්දේසියක් පැනවිය.

ඊට අමතරව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මියගිය දැරිය අදාළ නිවසට ගෙනැවිත් භාරදුන් තැරැව්කරු වන පොන්නයියා පන්ඩාරම් හෙවත් ශංකර් නැමැත්තාද රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළයා.

ඔහු ද සෑම මසකම අවසන් ඉරුදින ඩයගම පොලීසියට වාර්තා කළ යුතුය.

ඉකුත් නඩු දිනයේ මෙම නඩුකරයේ පස්වන සැකකරු ලෙස නම් කරන ලද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද දින බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම නඩුකරය අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි පස්වන සැකකරු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් බන්ධනාගාරය තුළදී ඉකුත් 03 වනදා විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බව දන්වා සිටියේය.

මියගිය ඉෂාලිනි දැරිය තමන් නොදන්නා බවත් තමා ඇය සමග කතාබහ කර නොමැති බවත් එහිදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

බන්ධනාගාරයේ සේවය කරන වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විමර්ශනයක් සිදුකෙරෙන අතර බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවත් විමර්ශනයක් සිදුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී සඳහන් කළේය.

අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම සැකකරු සිදුකර තිබෙන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවලින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළේය.

බන්ධනාගාරය ඉදිරිපිට සිටිමින් සාමාන්‍යයෙන් පුද්ගලයකු දුරකථන ඇමතුමක් ලබාගතහොත් එම ඇමතුම විසන්ධි වන බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා, බන්ධනාගාර තුළ සිරකරුවන් දුරකථන ඇමතුම් ලබාගැනීම අවහිර කිරීම සඳහා යොදාගෙන තිබෙන තාක්ෂණය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වන බව පෙන්වා දුනි.

දුරකථන ඇමතුම් අවහිර කිරීම සඳහා ප්‍රබල තාක්ෂණයක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වෙද්දී රිෂාඩ් බදියුදීන් දුරකථන ඇමතුම් ලබාගන්නේ කෙසේදැයි බරපතළ සැකයක් උද්ගතවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවත් පැවැසීය.

ජංගම දුරකතන භාවිත කිරීම හසුවූ අවස්ථාවේදී රිෂාඩ් බදියුදීන් විසින් තම අත තිබූ ජංගම දුරකථනය විසිකොට ඇති බවත් පසුව බන්ධනාගාර නිලධාරීන් එය තමන් භාරයට ගෙන ඇති බවත් එම ජංගම දුරකථනය පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය හරහා විමර්ශන සිදු කරන බවත් ඔහු අධිකරණයට දැනුම් දුනි.

මෙම විමර්ශනයට සම්බන්ධ නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් විවිධ පාර්ශ්ව හරහා බලපෑම් සිදු කෙරෙන බවට තමන්ට නිලනොවන වශයෙන් තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා දුරකථන ඇමතුම් ලබාගැනීම හරහා එම කාර්යය සම්බන්ධීකරණය කරන්නේ බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදියුදීන් ද? යන බරපතළ සැකය මෙම අවස්ථාවේ දී උද්ගත වී තිබෙන බවත් සඳහන් කළේය.

ඒ අනුව ඔහුගේ දුරකථනය පොලීසිය භාරයට ගෙන එහි ඇමතුම් විස්තර වාර්තාවක් ලබාගත යුතු බවත් එවැනි වාර්තාවක් ලබා ගතහොත් රිෂාඩ් බදුයුදීන් ඇමතුම් ලබාගත්තේ කාටද? ඔහුට ඇමතුම් ලබාදී තිබෙන්නේ කවුරුන් ද? යන කරුණු පහසුවෙන්ම අනාවරණය කරගැනීමට හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එමෙන්ම ඔහුට මෙම දුරකථනය ලැබුනේ කෙසේද? යන්න පිළිබඳවත්  පරීක්ෂණ සිදු කළ බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

වෙනත් නඩු කටයුත්තක් සම්බන්ධයෙන් කලකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ද ඔහු විසින් තම අත තිබූ ඇපල් වර්ගයේ දුරකථනයක් විසි කොට සාක්ෂි විනාශ කිරීමට උත්සුක වූ ආකාරය ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී සිහිපත් කර සිටියේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම දැරිය පිලිස්සීමට ලක්වීමේ සිද්ධිය යටපත් කිරීම සඳහා ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් යොදා ගනිමින් නඩුවේ දෙවන සැකකරු වන රිෂාඩ් බදුර්දීන්ගේ මාමන්ඩිය කටයුතු කර ඇති ආකාරය “සුවසැරිය” ගිලන් රථ සේවයේ සටහන් පිරික්සීමේදී පැහැදිලිවම පෙනී යන බව පැවසීය.

දැරිය පිලිස්සීමට ලක්වීම පිළිබඳ තොරතුරු සුවසැරිය ගිලන්රථ සේවයට ලබාදී තිබෙන්නේ ඇමති ආරක්ෂක අංශයට අනියුක්ත රුවන් පතිරණ නැමති පොලිස් සැරයන්වරයෙකු බවත් ඔහු විසින් පිළිස්සීමට ලක්වූ දැරියගේ නම “ඉෂානි” ලෙසත් ඇයගේ වයස 18ක් ලෙසත් එම ගිලන් රථ සේවයට දන්වා තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණි.

ගෑස් හේතුවෙන් මෙම දැරිය පිළිස්සීමට ලක්වූ බව එහි දී අදාළ පොලිස් සැරයන්වරයා විසින් ගිලන් රථ සේවයට දන්වා තිබූ බවද පැවසූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් පිරිස් මහතා, අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස තොරතුරු වසන් කරමින් කටයුතු කර තිබෙන්නේ සැකකාර රිෂාඩ් බදියුදීන් මහතාගේ මාමණ්ඩියගේ මැදිහත්වීමෙන් බවත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

 එමෙන්ම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවය කරන වෛද්‍ය ටෙරන්ස් පෙරේරා මහතා ලබාදී ඇති කට උත්තරය මගින් ද අදාළ දැරිය ගෑස් හේතුවෙන් පිළිස්සී ඇති බව  සැකකරුවන් ප්‍රකාශ කළත් ඇයගේ ශරීරයෙන් භූමිතෙල් ගඳක් වහනය වූ බව එම වෛද්‍යවරයා විසින් සටහනක් යොදා ඇති බවත් එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

අදාළ දැරිය ස්වයංව පුලුස්සා ගත් බවට සටහනක් යෙදු හදිසි අනතුරු ඒකකයේ සේවය කරන වෛද්‍ය රන්දික හේෂාන් ප්‍රනාන්දු නැමැත්තා මේ වනවිට වැටුප් රහිත නිවාඩු මත විදේශගතව අධ්‍යාපනය ලබන බවට කොළඹ ජාතික රෝහල විසින් ලිපියක් ඉදිරිපත් කරමින් පොලීසිය වෙත දැනුම් දී තිබුණි.

එම ලිපියේ අදාළ වෛද්‍යවරයාගේ දුරකථන අංකය හෝ ඊ-මේල් ලිපිනය ඇතුළත් නොවන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුනි.

කෙසේවෙතත් එම වෛද්‍යවරයාගෙන් ද ඉදිරියේ දී ප්‍රකාශයක් සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පැවසීය.

සැකකරුවන්ගේ නිවසේ සේවය කළ මොහොමඩ් රිස්වි නැමති රියදුරකු ලබාදී ඇති ප්‍රකාශයක් මගින් මියගිය දැරිය පිළිස්සී රෝහල්ගත කිරීමෙන් පසුව ඇයගේ දෙමව්පියන් රිෂාඩ් බදුයුදීන්ගේ නිවසට පැමිණි අවස්ථාවේ එහි සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු එම සිද්ධිය වැඩිදුර ගෙනනොයන ලෙසට ඔවුන්ට බලපෑම් කර තිබූ බව අනාවරණය වී ඇතැයි කී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා, එම අවස්ථාවේදී නීතිඥවරයෙකු ද සැකකරුවන්ගේ නිවසේ සිට ඇති බව පැවසීය.

එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටින අයෙකු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඒ හේතුවෙන් ඔහුගේ නම තමා අධිකරණය හමුවේ ප්‍රකාශ නොකරන බවත් දන්වා සිටියේය.

මියගිය දැරියගේ පිළිස්සීම ස්වභාවිකව හටගත් එකක් නම් මෙලෙස පොලිස් නිලධාරීන් හා නීතිවේදීන් සැකකරුවන්ගේ නිවසට පැමිණ මෙලෙස ක්‍රියාත්මක වන්නේ  ඇයි ද? යන්න පිළිබඳව බරපතළ සැකයක් උද්ගත වන බවයි ඔහු අවධාරණය කර ඇත.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම නඩුවේ 4 වන සැකකරු වශයෙන් නම් කර සිටින රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා භාරයේ තිබූ දුරකථනයක් ඔහු විසින් විනාශ කොට ඇතැයි දන්වා සිටියේය.

එම දුරකථනයේ අන්තර්ගත දත්ත පිටපත් කිරීමේ කටයුතු විමර්ශන නිලධාරීන් විසින් මේ වනවිට සිදු කරමින් සිටින බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ජුනි මස 01 වනදා සිට 15 දක්වා කාලසීමාවේ සහ ජූලි මස 13 දා සිට 19 දක්වා කාලසීමාව තුළ ඔහු කොළඹ ප්‍රදේශයේ සිට ඇති බව ඔහුගේ ජංගම දුරකථන සංඥා පිරික්සීමේදී අනාවරණය වුවද ඔහු එම කරුණ ප්‍රතික්ෂේප කොට ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ තුළින් මෙම සැකකරු පරීක්ෂණවලට අවශ්‍ය තොරතුරු ලබා නොදී ඒවා වසන් කිරීමට උත්සාහ කරන බව චෝදනා කළේය.

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි පස්වන සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් අද දින ඇප ඉල්ලීමක් ඉදිරිපත් නොකළ අතර ඔහුගේ බිරිඳ වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කරන බව දන්වා සිටියේය.

සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද ඇප ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

නඩු විභාගය අතරවාරයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අද දින අධිකරණ ශාලාවේ අසුන් ගෙන  සිටින පුද්ගලයෙකු ජනමාධ්‍යවේදියකු බව හඟවමින් ඉකුත් නඩු දිනයේ තම දේශන පටිගත කොට ඇති බවට තමාට තොරතුරු ලැබී ඇතැයි අධිකරණ හමුවේ පැමිණිලි කර සිටියේය.

එම අවස්ථාවේදී අධිකරණ ශාලාවේ අසුන් ගෙන සිටි පුද්ගලයෙකු අධිකරණය හමුවට කැඳවූ මෙහෙස්ත්‍රාත්වරිය කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ තමා රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයා බවය.

ඊට අමතරව තමා ජනමාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරන බවත් ඊට අදාළ හැඳුනුම්පතක් ද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් ෆර්සාන් අමීර් නමැති එම පුද්ගලයාට තරයේ අවවාද කළේ අධිකරණය තුළ මෙවැනි ක්‍රියාවල නිරත නොවන ලෙසය.

මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් සැකයක් තිබේ නම් ඒ පිළිබඳව පැමිණිල්ලක් සිදු කොට විමර්ශනයක් සිදුකරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් දුන් මහෙස්ත්‍රාත්වරිය අදාළ පුද්ගලයා ඉදිරිපත් කළ හැඳුනුම්පත සත්‍ය එකක් ද? යන්න සොයාබලන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දුනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka