පසුගිය දින කිහිපය වන විට මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ඔවුන්ගේ දෛනික සහල් නිෂ්පාදන සහ බෙදාහැරීම් 50% කට වැඩි ප්‍රතිශතයකින් පහත හෙලනු ලබා ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කරයි.
රට මේ අවස්ථාවේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිගෙන තිබූ මොහොතක මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව,රජය අපහසුතාවයට පත් කරන්නේ නැති බවටත් එකඟව කටයුතු කරන බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ පසුබිමක අවාසනාවන්ත ලෙස මෙලෙස සහල් නිෂ්පාදනය සහ බෙදාහැරීම පහත හෙළා ඇති බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
''කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් පීඩාවට පත් පාරිභෝගිකයාට මෙම තත්ත්වය දැරිය නොහැකි තරමේ අසාධාරණයක් බව සියලු දෙනා පිළිගන්නා කාරණයක්. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ වැටලීම්වලින් 2021 සැප්තැම්බර් 08 දින පමණක් ප්‍රධාන වී මෝල් හිමියන් සතු සහල් ගබඩාවලින් රජයේ පාලන මිලට සහල් කිලෝ ග්‍රෑම් 807,375ක් ලබාගෙන සතොසට භාරදී තිබෙනවා.
මහා පරිමාණ වී මෝල් හිමියන් එකතුව සහල් මාෆියාවක් ඇතිකරන බවට චෝදනා කළ පිරිස්, වර්තමානයේ ඔවුන් රැකීමට ඉදිරිපත් වීම තුළින්ම, මේ සියලු ක්‍රියා පසුපස ඇති දේශපාලනය ඔබට පහසුවෙන් වටහා ගත හැකිවනු ඇති.
කෙසේ නමුත් සුරක්ෂිත රටක් වෙනුවෙන් ජනතාව විසින් ලබාදුන් ජනවරම සහ විශ්වාසය තහවුරු කරමින් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තීන්දු තීරණ ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, සෞභාග්‍යමත් රටක් ගොඩනගන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.'' යනුවෙනුයි කිංස්ලි රත්නායක මහතා පවසන්නේ.
