රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පෙරේදා (20) පොලිස් සැරයන්වරයකුට තුවාල සිදු කර පලා ගිය මත්ද්‍රව්‍ය ජාවාරකරු ගමන්ගත් මෝටර් රථය මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ කාන්තාවකට අයත් මෝටර් රථයක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
මත් කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම ජාවාරම්කරු තමන් පැමිණි මෝටර් රථයේ බොනට්ටුව මත පොලිස් නිලධාරියකුද සිටියදී රථය වේගයෙන් ධාවනය කර පොලිස් නිලධාරියා බිමට වට්ටවා පලාගොස් තිබිණි.
මෙහිදී ත්‍රිරෝද රථයකින් මත්කුඩු පාර්සල් දෙකක් රැගෙනවිත් මෝටර් රථයට ලබාදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර ත්‍රිරෝද රථයේ රියැදුරු වන ඔහුද පසුව පොලිසියෙන් බේරී පලා ගොස් ගිය බව පොලිසිය පවසයි.
අදාළ මෝටර් රථය හා හිමිකාරිය හඳුනා ගැනීමෙන් පසු උඩහමුල්ල ලිපිනයේ පිහිටි නිවසට ඊයේ (21) පොලිස් බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇතත් එහි සිට ඇත්තේ වෙනත් කාන්තාවන් දෙදෙනෙකි.
ඉදිකරමින් පවතින සුවිසල් තෙමහල් නිවසක් වන එය පොලිස් නිලධාරියාට තුවාල සිදුකරමින් ඔහුව වාහනයෙන් වට්ටවා පලා ගිය සැකකරුට අයත් එකක් බව නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කාලයක සිට මත්ද්‍රව්‍ය සහ මත් මුද්දර ජාවාරමේ යෙදෙන සැකකරු මීට පෙර ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට ගත් අයකුද වේ.
පොලිසිය එම නිවසට යනවිට එහි සිටි කාන්තාවන් දෙදෙනා සැකකරුගේ සහෝදරියන් බවද අනාවරණය වී ඇත.
එම කාන්තාවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තම සහෝදරයා ඉකුත් 19 වැනිදා සිය බිරිඳ සමග නිවසින් පිටතට ගිය අතර මෙතෙක් යළි නොපැමිණි බව පවසා තිබේ.
සහෝදරයා සහ ඔහුගේ බිරිඳ සිටින තැන් හෝ දුරකථන අංකයක් තමන් නොදන්නා බවද ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අතරේ සැකකරු පොලියට මුදල් ලබා දෙන අයකු ලෙසින් ප්‍රදේශවාසීන් අතරේ රංගනයක යෙදී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරු පොලිස් සැරයන්වරයා මෝටර් රථයේ බොනට්ටුව මත සිටියදී වේගයෙන් පලා යන අතරේ ඒ පසුපස හඹා යමින් ඔහු කොටුකරගෙන පොලිස් නිලධාරියා බේරා ගැනීමට ඒ මොහොතේ අදාළ වැටලීම භාරව සිටි නිලධාරියා කටයුතු නොකිරීමද මේ වන විට බරපතළ ගැටලූවක් වී ඇත.
වැටලීම භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා මෙම සිද්ධියෙන් පසුව පොලිස් සැරයන්වරයා රථයේ බොනට්ටුව මතට වැටුණු බව පවසමින් ව්‍යාජ තොරතුරු පවසා උසස් පොලිස් නිලධාරීන් නොමග යැවීමට කටයුතු කර තිබෙන බවද අනාවරණය වී තිබේ.
අනතුරට පත් පොලිස් සැරයන්වරයා මත්ද්‍රව්‍ය වැටලීමේදී බොහෝ දක්‍ෂතා දැක්වූ නිලධාරියකු බවද සඳහන් වේ.
මත් කුඩු පාර්සල් දෙක ඔබේසේකරපුර ප්‍රදේශයට රැගෙන ආ ත්‍රිරරෝද රථයේ රියැදුරා සම්බන්ධයෙන්ද පොලිසියට තොරතුරු ලැබෙමින් ඇතැයි වාර්තා වේ.
(දිවයින)
