ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම ඖෂධ හා උපකරණ මෙරටට ආනයනය කර නීති විරෝධී අන්දමින් මුදල් ඉපැයීම සිදුකරන ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙන්වා දුන්නේ ය.
එලෙස මැකී ගොස් ඇත්තේ මෙරටට ඖෂධ හා උපකරණ ආනයනය කරන සමාගම්වල නම් හා එම සමාගම් විසින් ආනයනය කර ඇති ඖෂධවල හා උපකරණවල නම් බව එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පිරිස් මහතා එලෙස දත්ත පද්ධතිය මැකී යාමෙන් එකම ඖෂධය විවිධ වෙළඳ නාමවලින් ආනයනය කරනු ලබන ඖෂධ සමාගම් තමන් කැමති මිල ගණන්වලට ඒවා අලෙවි කිරීමේ අවදානම පවතින්නේ යැයි ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා හමුවේ කියා සිටියේ ය.
එම දත්ත පද්ධතිය ආරක්ෂා කිරීමේ වගකීම සම්පුර්ණයෙන්ම පැවරී ඇත්තේ එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමට වන බවත්, එම වගකීම, එම සමාගම නිසි ලෙස ඉටු කර නොමැති බව පෙනී යන්නේ යැයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එබැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශනය කළ යුතුව ඇතැයි ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය.
ඖෂධ නියමන අධිකාරියේ තොරතුරු පද්ධතිය යාවක්කාලීන කිරිමේ ගැටලුව විසඳා ගතයුත්තේ දෙපාර්ශ්වය බවත් ඒ සඳහා අධිකරණය මැදිහත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් එහිදී පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා එම තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම වළක්වමින් පසුගිය 09 වැනිදා අධිකරණය විසින් පනවා තිබු නියෝගය ඉවත් කිරීමටද නියෝග කළේ ය.
එම නඩුවේ සැකකරු වන තරීන්ද්‍ර කල්පගේ මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර නඩුව ලබන දෙසැම්බර් 09 වැනිදා යළි කැඳවීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
