කොළඹ නගරයේ තවත් වටිනා ඉඩම් 03ක් 99 අවුරුදු බදු පදනම මත ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජකයන් කැඳවා ඇත. මේ වෙනුවෙන් සැප්තැම්බර් 19 වැනිදා අධිකාරිය විසින් දැන්වීම් පලකර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පැවසීය. මිශ්‍ර සංවර්ධන ව්‍යපෘති සඳහා කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් 03ක් ලබාදීම සඳහා මෙමගින් ටෙන්ඩර් කැඳවා ඇත.
ඒ අනුව කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ නො.12 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, නො.38 දරන අංකයේ පිහිටි මහජන බැංකු රැජිණ ශාඛාව පිහිටි ස්ථානය හා නො. 40 දරන සතොස ගබඩා සංකීර්ණය මේ ව්‍යාපෘති සඳහා ලබාදීමට යෝජනා කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය පිහිටි භූමියේ පදනම් වටිනාකම රුපියල් බිලියන 3.7 ක්, මහජන බැංකු ශාඛාව පිහිටි ඉඩම පදනම් වටිනාකම රුපියල් බිලියන 1.3 ක් හා සතොස ගබඩා සංකීර්ණය පිහිටි ඉඩමේ පදනම් වටිනාකම රුපියල් බිලියන 1.6 ක් ලෙස අධිකාරිය ඇස්තමේන්තු සකස් කර ඇත.
මෙම ඉඩම්වල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී ඇත්තේ මාසයක කාලයක් පමණකි. මේ අතර දැනටමත් සෙලෙන්දිවා ආයෝජන ව්‍යාපෘති මගින් ද විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල, හිල්ටන් හා ග්‍රැන්ඩ් ඔරියන්ට් හෝටලය ඇතුළු කොළඹ නගරයේ වටිනා දේපොළ ගණනාවක්ම ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමට යෝජනා ඉදිරිපත් වී තිබේ.
– aruna
