රට වසා දමන ලෙස ජනපතිවරයාට ලිපියක් යොමු කළ ආණ්ඩුවේ හවුල් පක්ෂ වල නියෝජිතයන්ගේ තනතුරු ගැලවීම පිළිබඳ පළමු ඉඟිය මේ වන විට ජනපතිවරයා නිකුත් කොට තිබෙනවා.
ඒ එම ලිපියට අත්සන් තැබූ අසංක නවරත්න මහතාව ඔහු දැරූ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායක ධූරයෙන් ඉවත් කරමින්.
පළමු අනතුරු ඇඟවීම
මේ එම ලිපියට අත්සන් කළ අනිකුත් මහජන නියෝජිතයින්ටද මන්ත්‍රී ධුරයට අමතරව ලබාදී ඇති අනිකුත් තනතුරු ගැලවීම පිලිබද ලබා දුන් ඉඟියක් ලෙසයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
මේ සමගම නවරත්න මහතාට අදාල ධූරය සඳහා පාර්ලිමේන්තුවෙන් ලබා දුන් වාහනය මෙන්ම කාර්යාලයද අහිමි වනවා.
තනතුරින් ඉවත් කළ නවරත්න මහතා වෙනුවට දැඩි රාජපක්ෂවාදියෙකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබෙන අතර ඒ පිළිබඳව වූ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වන විටත් ලබාදී අවසන්.
තාත්තාට විතරක් නෙමේ පුතාටත් තනතුරක්
මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පුත්‍රයායි.
අසංක නවරත්න මහතා අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතා ගොඩ නැගූ මහජන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන අතර ඔහු විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂයේ සන්ධානගත හවුල් පක්ෂ 10 කින් යුත් විකල්ප කණ්ඩායම නියෝජනය කරනවා.
එම කණ්ඩායම පවතින හා දරුණු කොවිඩ් තත්ත්වය හේතුකොටගෙන රට සති 3කට වසා දමන ලෙස ජනපතිවරයාට යොමුකළ ලිපිය සම්බන්ධයෙන් ජනපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් සිය අප්‍රසාදය පළ කොටයි තිබෙන්නේ.
කැබිනට් සාමූහික වගකීම කඩ කිරීම
දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වීරවංස , ගම්මන්පිල හා නානයක්කාර යන අමාත්‍යවරුන්ද එම ධූරවලින් ඉවත් කිරීම පිළිබඳවද ජනපතිවරයාගේ අවධානය යොමුව තිබුණ බව වාර්තා වනවා.
ඒ එම ඇමතිවරුන් තිදෙනා කැබිනට් සාමූහික වගකීම කඩ කිරීමේ චෝදනාව මත.
අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම මත එම වටපිටාව යම් දුරකට සමනය වූ බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
ලිපියට අත්සන් කළ කණ්ඩායමේ අසංක නවරත්න මහතා හැරුණුකොට මන්ත්‍රී ධුරයට අමතරව තනතුරු හොබ වන්නේ මෙම කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා පමණයි.
පොදු ජන පෙරමුණ ලේකම්ගේ ඉල්ලීම
අදාළ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා ලෙස පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාද මාධ්‍ය හමුවක් තබමින් ජනපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළා.
අදාල ලිපියට අත්සන් කළ කැබිනට් අමාත්‍යවරුන් එම ධුරයට අදාළ සියලු වරප්‍රසාද හා පහසුකම් භුක්ති විඳිමින් මෙසේ ආණ්ඩුව ගන්නා තීරණ වලට එරෙහි ලිපි වලට අත්සන් තැබීම අනුමත කළ නොහැකි බවයි මහ ලේකම්වරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
