ඉරානයට න්‍යෂ්ටික අවිවලින් පහර දෙන සූදානමක්!
ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ඉදිරි දින කිහිපය ඇතුළත සීමිත න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමේ දැඩි අවදානමක් පවතින බවත්, ඒ සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇමෙරිකානු පරිපාලනයට අඛණ්ඩව දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවත් ඉන්දීය ‘හින්දුස්ථාන් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
ඇමෙරිකානු ප්‍රකට දේශපාලන විචාරකයෙකු වන ටකර් කාල්සන් සිය නිල ‘X’ ගිණුමෙහි දීර්ඝ සටහනක් තබමින් සිදු කර ඇති මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව උපුටා දක්වමින් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත මේ බව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කාල්සන් කිසිදු නිල සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති අතර, ඇමෙරිකානු හෝ ඊශ්‍රායල බලධාරීන් ද මේ පිළිබඳව මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති බව එම පුවත්පත අවධාරණය කරයි.
කාල්සන්ගේ හෙළිදරව්වට අනුව, ප්‍රහාරයේ මූලික ඉලක්කය බවට පත්ව ඇත්තේ මධ්‍යම ඉරානයේ පිහිටි "පිකැක්ස් මවුන්ටන්" නමැති දැඩි ආරක්ෂිත භූගත න්‍යෂ්ටික කලාපයයි. ටෙහෙරානය විසින් යුරේනියම් බලගැන්වීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බවට ඊශ්‍රායල බුද්ධි අංශ විශ්වාස කරන බව පවසන කාල්සන්, මෙම ගැඹුරු භූගත ස්ථාපිතය විනාශ කිරීමට සාම්ප්‍රදායික කිසිදු ඇමෙරිකානු බංකර් විනාශක අවියකට හැකියාවක් නොමැති බැවින්, පවතින එකම හමුදාමය විකල්පය න්‍යෂ්ටික අවියක් භාවිත කිරීම පමණක් බව පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරයට අනුමැතිය ලබා දෙන ලෙස ඊශ්‍රායල අගමැතිවරයා ට්‍රම්ප්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව පවසන කාල්සන්, "නෙතන්යාහු මේ වෙනුවෙන් දැඩි පීඩනයක් යොදවනවා. අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව නෙතන්යාහු මේ ගැන හැමදාම ට්‍රම්ප්ට දුරකථනයෙන් කතා කරනවා" යනුවෙන් සඳහන් කර තිබේ.
ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ සී.අයි.ඒ. අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද ඉරානයට එරෙහි නව යුද මෙහෙයුම් සඳහා සහාය පළ කරන බව ඔහු චෝදනා කරයි.
ඊශ්‍රායල අගමැතිවරයාගේ දේශපාලන අර්බුදය පිළිබඳව කරුණු දක්වන කාල්සන්, පසුගිය සතියේ පැවති මැතිවරණ ප්‍රතිඵල හමුවේ නෙතන්යාහු දැඩි අසීරුතාවකට සහ හුදකලාභාවයකට පත්ව සිටින බව ලියා තිබේ.
ක්නෙසෙට් පාර්ලිමේන්තුවේ ආසන 61 ක බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට නම් ට්‍රම්ප් සෘජුවම ඊශ්‍රායල දේශපාලනයට මැදිහත් වී ගිවිසුමක් ඇති කළ යුතු බවත්, ඒ නිසා නෙතන්යාහුට ට්‍රම්ප් සමීපයේ රැඳී සිටිමින් මෙම යුද්ධය ඇති කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
තවද, පසුගිය සැප්තැම්බර් 27 වනදා නෙතන්යාහු රහසිගතව අබුඩාබි වෙත ගොස් ඉරානයට එරෙහි අවසන් ප්‍රහාරය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සහාය ඉල්ලා සිටිය ද එමීර් රාජ්‍යය එය ප්‍රතික්ෂේප කළ බව ද කාල්සන් අනාවරණය කරයි.
මීට අමතරව, කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී ඉරානය සමඟ සාකච්ඡා කෙරෙමින් පවතින සාම යෝජනාවලියට හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විරුද්ධ බව කාල්සන් සඳහන් කර ඇත. මේ වන විටත් ගැටුම් සමථයකට පත්කිරීම සඳහා ඉරාන නියෝජිතයන් සහ කටාර් මැදිහත්කරුවන් අතර දෝහාහිදී වක්‍ර සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙන බව රොයිටර් පුවත් සේවය තහවුරු කරයි.
ට්‍රම්ප් රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට කැමැත්තක් දැක්වුවද, සාකච්ඡා අසාර්ථක වුවහොත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව විවෘතව තබා ඇත. කෙසේ වෙතත්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෙන්ම ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය ද පෙන්වා දෙන්නේ අතිරේක ප්‍රහාර පිළිබඳව ට්‍රම්ප් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
එමෙන්ම උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ඉරානය සමඟ එකඟතාවකට පැමිණිය හැකි බවට තර්ක කරමින් සාමකාමී මාවතක් වෙනුවෙන් පෙනී සිටින බවත්, ට්‍රම්ප් ඔවුන්ට සවන් දෙමින් සිටින බවත් කාල්සන් පවසයි.
මේ පුවත තව අයට බලන්න
ඉරානයට න්‍යෂ්ටික අවිවලින් පහර දෙන සූදානමක්!
2026-11-02T14:38:00+05:30
Gossip Lanka Hot News





