gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ මහර සභාපති ඉල්ලා අස්වේ... සමුගනිමින් හෙළි කළ තොරතුරු මෙන්න

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය දැරූ අතුල කළුආරච්චි මහතා එම සභාපති ධුරයෙන් මෙන්ම තම කොට්ඨාස මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ මහතා මේ බව නිල වශයෙන් අනාවරණය කළේ සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි විශේෂ සටහනක් තබමිනි.

මෙම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අතුල කළුආරච්චි මහතා අවධාරණය කර සිටියේ මෙය හදිසියේ ගත් එකඟතාවයක් හෝ තීරණයක් නොවන බවයි. මීට වසර කිහිපයකට පෙර පක්ෂය සමඟ ඇති කරගත් අභ්‍යන්තර එකඟතාවයකට අනුව මෙම පියවර ගත් බව ද ඔහු පැහැදිලි කළේය.

ධුරවලින් ඉවත් වුවද ජනතා මෙහෙවරෙන් ඉවත් නොවන බව සඳහන් කළ ඒ මහතා, මෙම තීරණය කිසිසේත්ම දේශපාලන අරමුණු අත්හැරීමක් හෝ ජනතාව වෙනුවෙන් වූ තම කැපවීම අවසන් කිරීමක් නොවන බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඉදිරියටත් පක්ෂය සහ ජනතාව වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටින බවට ද ඔහු මෙහිදී විශ්වාසය පළ කර ඇත.

උපුටාගැනීම..

"ආදරණීය සහෝදරවරුනි, මිතුරනි,

මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ මා නියෝජනය කරන කොට්ඨාසයේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට මා තීරණය කර ඇති බව ඔබ වෙත දැනුම් දෙන්නේ ඉතා වගකීමෙන් සහ පැහැදිලි අවබෝධයකිනි.

මෙය කිසිසේත්ම හදිසියේ ගත් තීරණයක් නොවේ. වසර කිහිපයකට පෙර අප පක්ෂය සමඟ ඇති කරගත් එකඟතාවක් සහ මා එදා භාරගත් දේශපාලන වගකීම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ගත් තීරණයකි.

දුර්දාන්ත පවුල් පාලනයන් පරාජය කරමින්, ජනතාවාදී පාලන ක්‍රමයක් සහිත රටක් ගොඩනැඟීම සඳහා මගේ ශක්තිය, කාලය සහ හැකියාව උපරිමයෙන් කැප කිරීමට මා එදා එකඟ වී මෙම දේශපාලන ගමනට එක්වුණෙමි.

2024 සැප්තැම්බර් 21 වන දින එම ඓතිහාසික අරමුණ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, රටේ වේගවත් සංවර්ධනයකට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම සාර්ථකව ගොඩනැඟීමට අපට හැකි වී තිබේ. එමෙන්ම, අප පසුකර ඉදිරියට ගමන් කළ හැකි දක්ෂ තරුණ නායකත්වයක් සහ කණ්ඩායමක් නිර්මාණය කිරීමට ද අප සමත්ව සිටිමු.

ඒ සියල්ල සමඟින් රට තුළ ස්ථාවර සංවර්ධනයක සහ ජාතික පුනරුදයක නව යුගයක් ආරම්භ වී ඇති බව මාගේ විශ්වාසයයි.

අප එදා එක්ව දැරූ දේශපාලන අරමුණ වෙනුවෙන් අද වන විට තවත් පිරිසකට වගකීම් භාරගෙන ඉදිරියට යා හැකි පසුබිමක් නිර්මාණය වී තිබේ. එබැවින්, වසර කිහිපයකට පෙර අප පක්ෂය සමඟ ඇති කරගත් එකඟතාවට අනුවත්, මේ අවස්ථාවේදී මාගේ වෘත්තීය කටයුතු සහ වෘත්තීය ජීවිතය යළි නිසි පරිදි කළමනාකරණය කරගැනීම සඳහා වැඩි කාලයක් හා අවධානයක් යොමු කිරීමේ අරමුණින් මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ කොට්ඨාස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තෙමි.

මෙය අපගේ දේශපාලන අරමුණු අත්හැරීමක් හෝ ජනතාව වෙනුවෙන් වූ කැපවීම අවසන් කිරීමක් ලෙස කිසිවකුත් වටහා නොගනු ඇතැයි මම විශ්වාස කරමි. තනතුරු වෙනස් වුවද අප එකට ආරම්භ කළ ගමන සහ අප වෙනුවෙන් පෙනී සිටි ජනතාව කෙරෙහි ඇති වගකීම කිසිසේත් වෙනස් නොවේ.

මෙතෙක් මා සමඟ උරෙනුර ගැටී කටයුතු කළ ඔබ සියලු දෙනාටත්, විවිධ අභියෝග හමුවේ මා කෙරෙහි විශ්වාසය තැබූ සියලු දෙනාටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.

අප එකට ගොඩනැඟූ දේශපාලන පදනම තවදුරටත් ශක්තිමත් කරමින්, අපටත් වඩා ඉදිරියට යා හැකි නව පරපුරකට අවස්ථාව ලබාදෙමින්, රට වෙනුවෙන් අපේ වගකීම ඉදිරියටත් ඉටු කරමු.
තනතුරු තාවකාලිකය. අප වෙනුවෙන් පෙනී සිටි අරමුණු සහ ජනතාව වෙනුවෙන් වූ කැපවීම සදාකාලිකය.

ඔබ සැමට මාගේ ආදරය, ගෞරවය සහ ස්තුතිය!
අතුල කලුආරච්චි
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka