මාරාන්තික උපවාසයේ ඉන්න කස්සප හිමි අත්අඩංගුවට ගන්නැයි උසාවියෙන් වරෙන්තුවක්!
නීත්‍යානුකූල අවසරයකින් තොරව ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිදුවීමට අදාළ නඩු විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද (11) වරෙන්තු නිකුත් කළේය.
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා විසින් මෙම විවෘත වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ, අදාළ නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී එහි දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින කස්සප හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
මෙම සිද්ධියට අදාළව වරාය පොලිසිය මඟින් සැකකරුවන් 14 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඉන් සැකකරුවන් 09 දෙනෙකුට හෙට (12) ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි මස 06 වැනිදා දක්වා කල් තැබිණි.
මෙම වරෙන්තුව නිකුත් වන අවස්ථාව වන විටත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිමේ දන්සල් පරිශ්‍රය අසල රැඳී සිටිමින්, අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස රජයට බලකරමින් මාරාන්තික උපවාසයක නිරතව සිටීම විශේෂත්වයකි.
එම විරෝධතාව සම්බන්ධයෙන් ද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පූජා භූමියෙන් ඉවත් වන ලෙස නියෝගයක් නිකුත් කර තිබිණි.
ත්‍රිකුණාමලය සිදුවීමට අදාළ නෛතික ආරවුල හටගත්තේ කොටුව ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේ ඉදිකිරීමක් මුල් කරගනිමිනි.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිසි පූර්ව අනුමැතියකින් තොරව වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීම් සිදුකරමින් එහි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ පාර්ශ්ව අතර උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය විය.
එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කස්සප හිමියන් ඇතුළු පිරිස පසුව ඇප මත මුදාහැර සිටි අතර, නඩුව කැඳවූ අවස්ථාවේදී පෙනී නොසිටීම නිසා මෙලෙස යළි වරෙන්තු නිකුත් කර තිබේ.
මාරාන්තික උපවාසයේ ඉන්න කස්සප හිමි අත්අඩංගුවට ගන්නැයි උසාවියෙන් වරෙන්තුවක්!
2026-11-11T14:44:00+05:30
Gossip Lanka Hot News





