“ආණ්ඩුවට ඩිප්ලෝමැටික් වැඩ තේරෙන්නේ නෑ-මිහින්තලේට ආපු තායිලන්ත නි.අගමැතිනියට ප්රොටෝකෝල් එකට සළකලා නෑ” – එජාපයෙන් ආණ්ඩුවට චෝදනා!
තායිලන්ත නියෝජ්ය අගමැතිනි සුපජී සුතුම්පුන්ගේ ශ්රී ලංකා සංචාරයේදී ඇයට හිමිවිය යුතු රාජ්යතාන්ත්රික ගෞරවය සහ ආරක්ෂාව ලබාදීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව විවේචනය කර ඇති අතර, මෙම සිදුවීම රජයේ නොමේරූ විදේශ ප්රතිපත්තියට සාක්ෂියක් ලෙස හඳුන්වා දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කර ඇත්තේ, මිහින්තලේ මිහිඳු මහා සෑයේ කොත් පැළඳවීමේ පුණ්ය මහෝත්සවයේ ප්රධාන අමුත්තා ලෙස තායිලන්තයේ නියෝජ්ය අගමැතිනිය ලෙස ඇය සහභාගී වූ බවයි. එම උත්සවය ශ්රී ලංකාවේ බෞද්ධ ආගමික දිනදර්ශනයේ ඉතා වැදගත් සිදුවීමක් බව ද එම පක්ෂය පෙන්වාදෙයි.
නිල හෝ පෞද්ගලික සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණෙන විදේශීය නායකයින් සඳහා සුදුසු රාජ්යතාන්ත්රික ගෞරවය සහ ආරක්ෂක විධිවිධාන ලැබීම සාමාන්ය සිරිත බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
අතීත නිදර්ශනයක් දක්වමින් එම පක්ෂය පවසන්නේ, හිටපු බ්රිතාන්ය අගමැති ඩේවිඩ් කැමරන් ධුරය නොදැරූ සමයක පෞද්ගලික සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පවා එකල පැවැති ආණ්ඩුව විසින් විශේෂ ආරක්ෂාවක් සපයා තිබූ බවයි.
තායිලන්තය යනු සියවස් ගණනාවක් පුරා ශ්රී ලංකාව සමඟ සමීප සබඳතා පවත්වන දීර්ඝකාලීන මිත්රශීලී රටක් බව ද එම නිවේදනයේ විස්තර කර ඇත.
විශේෂයෙන්ම මෙම ආගමික උත්සවය සඳහා පූජනීය කොත සහ ‘චූඩා මාණික්යය’ ශ්රී ලංකාවට වැඩමකරවීමට තායිලන්තය දැක්වූ දායකත්වය සැලකිල්ලට ගනිමින්, නියෝජ්ය අගමැතිනි සුතුම්පුන්ට මෙලෙස සැලකීමට හේතුව වහාම පැහැදිලි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යවරයාගෙන් ඉල්ලා සිටී.
තායිලන්ත නියෝජ්ය අගමැතිනියට දැක්වූ මෙම සැලකිල්ල නොසලකාහැරීමක් ලෙස හඳුන්වා දුන් එම පක්ෂය, මේ හා සබැඳි පසුබිම පිළිබඳව රජය පැහැදිලි කිරීමක් කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කරයි.
“ආණ්ඩුවට ඩිප්ලෝමැටික් වැඩ තේරෙන්නේ නෑ-මිහින්තලේට ආපු තායිලන්ත නි.අගමැතිනියට ප්රොටෝකෝල් එකට සළකලා නෑ” – එජාපයෙන් ආණ්ඩුවට චෝදනා!
2026-10-20T16:43:00+05:30
Gossip Lanka Hot News





