ඇමරිකාව හා ඊශ්රායලයෙන් ශ්රී ලංකා නැගෙනහිර පලාතේ අභ්යවකාශ තොටුපලක්?
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්රායලය ප්රමුඛ බටහිර කඳවුරේ අභ්යවකාශ-මිලිටරි යුද සැලසුම්වල ගොදුරක් බවට ශ්රී ලංකාව පත් නොකරන ලෙසත්, රටේ භෞමික ස්වෛරීභාවය සහ සාම්ප්රදායික නොබැඳි විදේශ පිළිවෙත අමු අමුවේ පාවා නොදෙන ලෙසත් අවධාරණය කරමින් ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය රජයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම පක්ෂයේ ප්රධාන ලේකම් වෛද්ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ප්රවෘත්ති නිවේදනයක දැක්වෙන්නේ, ශ්රී ලංකා සන්නද්ධ හමුදාවන් ඇමෙරිකානු ආරක්ෂක ව්යුහය සහ එහි අභ්යවකාශ මෙහෙයුම් සමඟ ඒකාබද්ධ කරගැනීමේ අතිශය භයානක ප්රවණතාවක් මතුව ඇති බවයි.
මෙම තත්ත්වය වඩාත් බරපතළ අදියරකට එළඹ ඇති බව පෙන්වා දෙන කොමියුනිස්ට් පක්ෂය, මෑතකදී ලුතිනන් කර්නල් ෂුම්පෙයි ෆුජිමුරා (Shumpei Fujimura) ගේ ප්රධානත්වයෙන් යුත් ‘එක්සත් ජනපද පැසිෆික් අභ්යවකාශ බලකායේ’ (USSPACEFOR-PAC) විශේෂ නියෝජිත පිරිසක් ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ බව අනාවරණය කරයි.
එම නියෝජිත පිරිස ශ්රී ලංකා ගුවන් හමුදාපතිවරයා, නාවික හමුදා මාණ්ඩලික ප්රධානියා මෙන්ම බස්නාහිර සහ දකුණු නාවික විධානයන්හි ප්රධානීන් හමුවී සාකච්ඡා පවත්වා ඇත. එහිදී අභ්යවකාශ ක්ෂේත්ර නිරීක්ෂණය, චන්ද්රිකා සන්නිවේදනය සහ කලාපීය ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ. මෙම සංචාරය සිදුවූයේ වෙරළාසන්න සටන් මෙහෙයුම් සඳහා විශේෂයෙන් නිපදවන ලද ‘යූ.එස්.එස්. කැන්බරා’ නම් ඇමෙරිකානු යුද නෞකාව ශ්රී ලංකාවට පැමිණි කාලසීමාවේදීම බවද පක්ෂය පෙන්වා දෙයි.
ඇමෙරිකානු පැසිෆික් අභ්යවකාශ බලකායේ ප්රකාශිත අරමුණ වන්නේ ඉන්දු-පැසිෆික් කලාපය තුළ "අභ්යවකාශ ආධිපත්යය" තහවුරු කරගැනීමයි. මෙයින් අදහස් වන්නේ තම ප්රතිවාදීන්ට අභ්යවකාශය භාවිත කිරීමට ඇති ඉඩකඩ අහුරමින්, ඇමෙරිකාවට සහ එහි මිත්ර පාර්ශ්වයන්ට රිසි සේ යුදමය මෙහෙයුම් දියත් කිරීමේ බලය තහවුරු කරගැනීම බවත්, මෙය මුළුමනින්ම චීනය, රුසියාව සහ ඉරානය ඉලක්ක කරගත් යුද සූදානමක් බවත් කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කරයි.
විශේෂයෙන්ම ඊශ්රායලය ඇතුළු විදේශීය බලවතුන් විසින් ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ‘අභ්යවකාශ තොටුපොළක්’ පිහිටුවීමට යෝජනා කර ඇති බවට පළවන වාර්තා පිළිබඳව රජය දැඩි අවධානය යොමු කළ යුතු බව නිවේදනයේ සඳහන් වේ.
ගාසා තීරයේ සහ ලෙබනනයේ යුද මෙහෙයුම්වල නිරත වූ ඊශ්රායල ආරක්ෂක හමුදා නිලධාරීන්ට මෙරට නැගෙනහිර වෙරළ තීරයේ විවේකාගාර පහසුකම් සැලසීම සහ නීතිවිරෝධී පදිංචිවීම් පිළිබඳ මීට පෙර වාර්තා වූ සිදුවීම් සමඟ මෙම යෝජිත "අභ්යවකාශ තොටුපොළ" වෙන්කර බැලිය නොහැකි බව වෛද්ය වීරසිංහ මහතා පෙන්වා දෙයි. ලේසර් තාක්ෂණය සහ කක්ෂීය ඔත්තු බැලීමේ තාක්ෂණයෙන් සන්නද්ධ ඊශ්රායලය, NATO සංවිධානය සමඟ එක්ව මෙවැනි මධ්යස්ථානයක් නැගෙනහිර පිහිටුවීම මගින් මලක්කා සමුද්ර සන්ධිය සහ මියන්මාරය දෙසට දිවෙන ජාත්යන්තර මුහුදු මාර්ගයන් පූර්ණ නිරීක්ෂණයට ලක්කිරීමට මාන බලන බවත්, එය ශ්රී ලංකාවේ මිත්ර රටවල් වන චීනය, ඉරානය සහ රුසියාවට එරෙහි බුද්ධි මෙහෙයුම් තිප්පොළක් බවට ලංකාව පත්කිරීමක් බවත් එම පක්ෂය චෝදනා කරයි.
රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට එල්ල වන මෙම තර්ජනය හමුවේ පහත තොරතුරු කඩිනමින් රටට හෙළිදරව් කරන ලෙස CPSL රජයෙන් ඉල්ලා සිටී:
ඇමෙරිකාව, ඊශ්රායලය සහ අනෙකුත් විදේශ බලවතුන් සමඟ ශ්රී ලංකාව පවත්වාගෙන යන හමුදා සහයෝගීතාවේ සැබෑ තරම සහ ස්වභාවය.
2017 ACSA ගිවිසුම සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය (SPP) සමඟ ඇති කරගත් එකඟතාවන්ට අදාළ සියලු ලියකියවිලි, බුද්ධි තොරතුරු හුවමාරු සහ පහසුකම් ලබාදීමේ ගිවිසුම්.
ඇමෙරිකානු අභ්යවකාශ හමුදා නියෝජිත පිරිසේ සංචාරයේ නිශ්චිත අරමුණ සහ ඔවුන් හමුවේ රජය හෝ ආරක්ෂක අංශ ලබාදුන් එකඟතා.
නැගෙනහිර වෙරළේ ‘අභ්යවකාශ තොටුපොළක්’ ඉදිකිරීමට ඊශ්රායලයෙන් හෝ ඇමෙරිකාවෙන් යෝජනාවක් ලැබී තිබේද, ඒ පිළිබඳ රජයේ ස්ථාවරය කුමක්ද යන්න.
ශ්රී ලංකාවේ භූමිය, ගුවන් සීමාව, මුහුදු කලාපය හෝ සන්නිවේදන පද්ධති විදේශීය හමුදා මෙහෙයුම් සඳහා භාවිත කිරීම වැළැක්වීමට ගෙන ඇති ක්රියාමාර්ග කවරේද යන්න.
1967 එක්සත් ජාතීන්ගේ බාහිර අභ්යවකාශ ගිවිසුම (Outer Space Treaty) මගින් අභ්යවකාශය සාමකාමී අරමුණු සඳහා පමණක් භාවිත කළ යුතු බවට නියම කර ඇති අතර, අභ්යවකාශය මිලිටරිකරණය කිරීම වැළැක්වීම සඳහා චීනය, රුසියාව සහ නොබැඳි ජාතීන් ඉදිරිපත් කළ සම්මුතීන්ට බටහිර රටවල් දිගින් දිගටම බාධා එල්ල කරමින් සිටී.
ශ්රී ලංකාව 2017 දී යහපාලන රජය සමයේ අත්සන් කළ ඇක්සා (ACSA) ගිවිසුම මෙන්ම, පසුගිය රනිල් වික්රමසිංහ පාලන සමයේදී ඇමෙරිකාවේ මෙහෙයවීමෙන් යුත් රතු මුහුදේ ‘ඔපරේෂන් ප්රොස්පෙරිටි ගාඩියන්’ මෙහෙයුමට ශ්රී ලංකා නාවික හමුදාව යෙදවීම පිළිබඳවද දේශීය හා ජාත්යන්තර වශයෙන් දැඩි විවේචන එල්ල විය. විදේශ ප්රතිපත්තිය ඇමෙරිකානු අධිරාජ්යවාදයේ හෝ ඊශ්රායල ව්යාප්තවාදයේ වුවමනාවන්ට යට නොකර, රටේ මධ්යස්ථභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙළගැසෙන ලෙස කොමියුනිස්ට් පක්ෂය මෙරට වැඩකරන ජනතාවගෙන්, වෘත්තීය සමිතිවලින් සහ ප්රගතිශීලී දේශප්රේමී බලවේගවලින් වැඩිදුරටත් ඉල්ලා සිටී.
ඇමරිකාව හා ඊශ්රායලයෙන් ශ්රී ලංකා නැගෙනහිර පලාතේ අභ්යවකාශ තොටුපලක්?
2026-10-30T10:08:00+05:30
Gossip Lanka Hot News






