gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඥානසාර හිමිට ගිහි ඇදුම් ඇන්දවීම ගැන මටත් කණගාටුයි.. වෙනස් කරන්න මට බලය නෑ.. ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න - විනිසුරු

සිරදඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත නියෝග නිකුත් කිරීමේ බලයක් මහාධිකරණයට නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා (06) ප්‍රකාශ කළේය.

අධිකරණයකින් දඬුවම් නියමව බන්ධනාගාරගත කර සිටින රැඳවියකු වන ඥානසාර හිමියන්ට මෙලෙස ගිහි ඇඳුම් ඇන්දවීම තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇත්නම්, ඒ පිළිබඳ කරුණු දැක්වීමට විත්තියට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

2014 වසරේදී කොම්පඤ්ඤවීදියේ පැවති මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් ඥානසාර හිමියන්ට එරෙහිව මහාධිකරණය මගින් මීට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.

ඒ අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෝසමක් මාර්ගයෙන් නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් දැක්වූ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් විනිසුරුවරයා මෙම තීරණය දැනුම් දුන්නේය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා අධිකරණය මඟහැරීමේ චේතනාවෙන් පසුවූවකු නොවන බවත්, දැඩි මානසික පීඩනය හේතුවෙන්  ආරණ්‍ය සේනාසනයක භාවනායෝගීව වැඩ විසූ බවත්ය.

එමෙන්ම, සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසු උන්වහන්සේට බලහත්කාරයෙන් ගිහි ඇඳුම් අන්දවා ඇති බව විත්තියේ නීතිඥවරු අධිකරණයට පැමිණිලි කළහ.

උපසම්පදා භික්ෂුවකගේ සිවුර ඉවත් කර උපැවිදි කිරීමේ පූර්ණ අභිමතය හිමිවන්නේ අදාළ නිකායේ මහානායක හිමිවරුන්ට පමණක් බවත්, බන්ධනාගාරයට පැමිණීමට පෙර ඇඳ සිටි ඇඳුමට සමාන ඇඳුමක් ඇඳීමට සිරකරුවකුට බන්ධනාගාර රෙගුලාසි යටතේ අයිතියක් පවතින බවත් නීතිඥවරු පෙන්වා දුන්හ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය හිමිවන බව ද සිහිපත් කළ නීතිඥවරුන්, මීට පෙර අවස්ථාවලදී සිරගතව සිටියදී පවා උන්වහන්සේට මෙලෙස ගිහි ඇඳුම් අන්දවා නොමැති බැවින් මේ සම්බන්ධයෙන් සුදුසු අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකව තමන් කනගාටුවට පත්වන නමුත්, විනිශ්චයාසනයේ සිටින විට නියෝග ලබාදිය හැක්කේ ආගමික හැඟීම් මත නොව පවතින නෛතික ප්‍රතිපාදනවලට අනුකූලව පමණක් බවයි.

මේ අතර, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීමට විත්තිකාර ඥානසාර හිමියන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරි නඩු දිනයේදී දැනුම් දෙන ලෙස නියෝග කළ මහාධිකරණය, වැඩිදුර නඩු විභාගය ලබන 23 වැනිදා දක්වා කල් තැබීය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka