gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති අධිකරණයට අපහාස කලැයි අභියාචනාධිකරණයේ නඩු දමන්නැයි විනිසුරු නියෝග කරයි..

අධිකරණ නියෝග නිසි පරිදි ක්‍රියාත්මක නොකරමින් අධිකරණය හෑල්ලුවට ලක් කිරීම සහ නොමඟ යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව ‘අධිකරණයට අපහාස කිරීමේ’ චෝදනාව යටතේ නඩු පැවරීම සඳහා අදාළ නඩු ගොනුව වහාම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කර ඇත.

නිරපරාදේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කරගනිමින් අසත්‍ය හා ද්වේෂසහගත ලෙස මත්ද්‍රව්‍ය නඩු පැවරීම වැළැක්වීම සඳහා දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි පොලිස්පතිවරයාගේ අත්සනින් යුතු විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අධිකරණය මීට පෙර අවස්ථා කිහිපයකදීම නියෝග කර තිබුණි. 

එහෙත් එම නියෝගය හිතාමතා පැහැරහරිමින් බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මාර්ගෝපදේශ මාලාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණය මුළා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව උත්සාහ දැරීම මෙලෙස මහේස්ත්‍රාත්වරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමට හේතු වී තිබේ.

ගම්පහ, මාකන්දන ප්‍රදේශයේ පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැති පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් ගම්පහ දූෂණ මර්ධන අංශය මඟින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා යටතේ එකම දිනයක අංක 1743 සහ 1744 දරන නඩු දෙකක් පවරා තිබිණි. එක් නඩුවකට අදාළව විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව දඩ නියම වූ මොහොතේදීම, එම සිද්ධියටම අදාළව දෙවන නඩුවද කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

මෙය පදනම් විරහිත සහ පීඩාකාරී නඩු පැවරීමක් බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා, චූදිත පුරවැසියාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස අදාළ වැටලීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ තෑගි අරමුදලට නියෝග කළේය. එසේම, ව්‍යාජ නඩුව ඉල්ලා අස්කර ගැනීමට පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, විමර්ශන නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කළේය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන ප්‍රගති සමාලෝචන ක්‍රමවේදය විවේචනයට ලක් කළ මහේස්ත්‍රාත්වරයා, එක් මසක පවරන නඩු ප්‍රමාණයට වඩා වැඩි නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේ පැවරිය යුතු බවට ඉහළින් ලබා දෙන අත්තනෝමතික උපදෙස් හමුවේ බිම් මට්ටමේ නිලධාරීන් අහිංසක වැසියන් පිට පැටවෙන අයුරු පෙන්වා දුන්නේය.

"සැබැවින්ම අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය සාර්ථක වන්නේ නම් මාසයෙන් මාසය නඩු ප්‍රමාණය අඩු විය යුතුය. එසේ නොවී නඩු සංඛ්‍යාව වැඩිවීම යනු පොලිසියේ අකාර්යක්ෂමතාවයි. මේ ආකාරයෙන් නඩු වැඩි කිරීමට ගියහොත් තවත් වසර පහකින් නඩු පැවරීමට රටේ ජනගහනය පවා මදි වනු ඇතැයි" මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය. මීට අමතරව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ රජයේ රස පරීක්ෂක වාර්තා අතර බරපතළ පරස්පරතා පවතින බවත්, ඇතැම් අවස්ථාවල නඩු භාණ්ඩවල කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගු නොවන බවත් මෙහිදී අනාවරණය විය.

පොලිස්පතිවරයාට නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් පෙනී සිටි පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, තමන් නියෝග කළේ වැඩබලන පොලිස්පතිවරයාට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නියෝගයක් නිකුත් කිරීමට බවත්, ඊට ප්‍රතිචාර ලෙස බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිපියක් ඉදිරිපත් කිරීම අධිකරණය ‘ඇන්දවීමට’ දැරූ නින්දිත උත්සාහයක් බවත් අවධාරණය කළේය.

"රෑට හීනෙන් දකින දේවල්වලට පවා පහුවදා උදේට චක්‍රලේඛ ගහන රටේ, අධිකරණය දුන් නියෝගයකට අනුව මාස පහක් ගතවීත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නොහැකි වීමෙන් පෙනෙන්නේ පොලිසිය අධිකරණ නියෝග සලකන පහත් ආකාරයයි" යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීන්දු කරමින් නඩු පැවරීම සඳහා ගොනුව අභියාචනාධිකරණයට යොමු කිරීමට නියෝග කළේය.

-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka