කාවන්තිස්සට බෙහෙත් කල දොස්තර ඉල්ලා අස්වේ... වෙඩි වැදුනැයි කී අග්බෝ හමුවේ..
වෙඩි ප්රහාරයකට ලක්ව මෑතකදී මියගිය ‘කාවන්තිස්ස’ හස්තිරාජයාට ප්රතිකාර කිරීමේ කටයුතුවල නිරත වූ නිකවැරටිය වනජීවී පශු වෛද්ය කාර්යාලයේ සේවය කළ පශු වෛද්ය ඉසුරු හේවාහෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.
කාවන්තිස්ස හස්තියා රෝගාතුරව සිටි සමයේදී නිසි පරිදි ප්රතිකාර ලබා නොදීම සහ නිර්දේශිත ප්රමාණය ඉක්මවා අධිමාත්රාවෙන් ඖෂධ ලබාදුන් බවට වනජීවී ලෝලීන්ගෙන් සහ පරිසරවේදීන්ගෙන් වෛද්ය ඉසුරු හේවාහෙට්ටිගේ මහතා වෙත බරපතළ චෝදනා එල්ල විය. හස්තියාගේ අවාසනාවන්ත මරණයත් සමඟ එම චෝදනා මුල්කරගනිමින් සමාජ මාධ්ය ඔස්සේ මෙන්ම සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් ඔහු වෙත දැඩි විරෝධයක් සහ බලපෑමක් එල්ල වී තිබිණි.
මීට පෙර මියගිය ප්රකට දැවැන්ත හස්තීන් වන 'තේක්ක රාජා' සහ 'හාතියා' යන ඇතින් රෝගාතුර වූ අවස්ථාවලදීද ප්රතිකාර කටයුතු සිදුකර තිබුණේ මෙම වෛද්යවරයා විසින් බව පැවසෙන අතර, එම කරුණුද ඔහුගේ ඉල්ලා අස්වීමට පසුබිම් වූ දැඩි විවේචන අතර විය.
වෙඩි ප්රහාරයකට ලක්ව අතුරුදන්ව ඇති බවට තොරතුරු පැතිර ගිය, අනුරාධපුර තිරප්පනේ කලාපයේ සැරිසරන කාගෙත් ආදරය දිනූ ‘අග්බෝ’ හස්තියා නාවිච්චූව ඉහළතුලාව වනාන්තර ප්රදේශයේ රැඳී සිටියදී ශ්රී ලංකා යුද හමුදාවේ සහාය ඇතිව නිරුපද්රිතව සොයාගැනීමට හැකිවූ බව පරිසර අමාත්යාංශය පවසයි.
හස්තියා සොයා ගැනීම සඳහා අද (19) දින විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කෙරිණි. පරිසර අමාත්යවරයා කළ විශේෂ ඉල්ලීමකට අනුව, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන්ට සහාය වීම සඳහා යුද හමුදාවේ විශේෂ කණ්ඩායමක් මෙම සෝදිසි මෙහෙයුමට එක්කර තිබේ.
-lankacnews
කාවන්තිස්සට බෙහෙත් කල දොස්තර ඉල්ලා අස්වේ... වෙඩි වැදුනැයි කී අග්බෝ හමුවේ..
2026-10-19T14:51:00+05:30
Gossip Lanka Hot News





