ප්රංශය ගිනි ජාලාවක්.. අට ලක්ෂයක් පාරට බැස විරෝධතා.. වෙලදසැල් කොල්ලකති.. පොලිසියට පහර දෙති..
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම, ඉන්ධන මිල ඉහළ යාම සහ රාජ්ය සේවාවන් කප්පාදු කිරීමට එරෙහිව ප්රංශය පුරා ආරම්භ වූ දැවැන්ත මහජන විරෝධතා පාලනයෙන් තොර ප්රචණ්ඩ ගැටුම් සහ මහා පරිමාණ කැරලි බවට පරිවර්තනය වී ඇත. මෙය පසුගිය දශක කිහිපය තුළ ප්රංශය මුහුණ දුන් දරුණුතම ප්රචණ්ඩ ක්රියා රැල්ලක් ලෙස සැලකේ.
ලක්ෂ සංඛ්යාත ජනතාවක් නගර රැසක සාමකාමී පාගමන්වල නිරත වෙද්දී, ඇතැම් අන්තවාදී කල්ලි ප්රසිද්ධ ගොඩනැගිලි ඉලක්ක කර ප්රහාර එල්ල කර ඇති අතර, සුපිරි වෙළඳසැල් කොල්ලකෑමටත්, පොලිස් රථවාහන හා නිලධාරීන්ට ප්රහාර එල්ල කිරීමටත් පියවර ගෙන තිබේ. ලිමෝජස් නගරයේ නගර ශාලාවට ගිනි තබා ඇති අතර, මාසේල් නගර ශාලාවට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි දැඩි හානි සිදුකර ඇත. ලියෝන් නගරයේ සංචාරක කාර්යාලයක්ද ගිනි තබා විනාශ කර තිබේ.
ප්රංශ අභ්යන්තර කටයුතු අමාත්ය සඳහන් කරන පරිදි රට පුරා පුද්ගලයින් 550,000කට අධික පිරිසක් මෙම විරෝධතාවලට එක්ව ඇති අතර, ප්රංශයේ CGT වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ විරෝධතාකරුවන්ගේ සංඛ්යාව 800,000 ඉක්මවූ බවයි.
ප්රචණ්ඩ ක්රියා මැඩපැවැත්වීම සඳහා පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්රහාර හමුවේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර, ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 150කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, පුද්ගලයින් 1,200කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ප්රකාශ කළේය. පොලිසිය එල්ල කළ කම්පන බෝම්බයක් අහුලා ගැනීමට තැත් කළ විරෝධතාකරුවකුගේ අතක් සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් බරපතළ තුවාල ලබා ඇතැයිද වාර්තා වේ.
රට තුළ පවතින තත්ත්වය හමුවේ දැඩි ප්රකාශයක් නිකුත් කරමින් ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් අවධාරණය කර ඇත්තේ, ප්රචණ්ඩත්වය සහ විනාශය වපුරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්රියාත්මක කර දැඩි දඬුවම් පමුණුවන බවයි. ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර කිසිදු පාර්ශ්වයකට ප්රචණ්ඩත්වය හරහා සිය දේශපාලන න්යායපත්රය ක්රියාත්මක කිරීමට ඉඩ නොතබන බවත්, රජය කිසිසේත්ම මෙවැනි බියවැද්දීම්වලට යටත් නොවන බවත් අගමැති ලෙකෝර්නු පවසා තිබේ.
කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් දැඩි අවදානමකට ලක්ව ඇති බව පවසන ප්රංශ පොලිස් වෘත්තීය සමිති, පොලිස් බළකායන් මේ වන විට උපරිම පීඩනයට ලක්ව අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවට රජයට අනතුරු අඟවා ඇත.
ප්රංශයේ හටගත් මෙම අර්බුදයට සමගාමීව ජීවන වියදම් අර්බුදය මුල් කරගනිමින් බෙල්ජියම (බ්රසල්ස්), පෘතුගාලය (ලිස්බන්) සහ ඉතාලිය (මිලාන් සහ බොලොග්නා) යන රටවලද විරෝධතා මතු වී ඇත. පෘතුගාලයේ නිවාස මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාමට එරෙහිව දස දහස් සංඛ්යාත පිරිස් වීදි බැස ඇති අතර, ඇල්බේනියාවේද රජයේ දූෂණයට හා විරැකියාවට එරෙහිව විරෝධතා හටගෙන තිබේ.
පැරිස් අගනුවර තදාසන්න ප්රදේශවල පිහිටි පාසල්වල ගුරු හිඟය සහ පහසුකම් නොමැතිකමට එරෙහිව සිසුන් ආරම්භ කළ පාගමන්, පසුව ප්රංශය මුහුණ දෙන දැඩි ආර්ථික හා සමාජීය අසමානතාවයට එරෙහි ජාතික ව්යාපාරයක් බවට පරිවර්තනය විය.
මෙම විරෝධතාකරුවන් කහ පැහැති ඇඳුම් පැළඳ මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වීම, 2018 වසරේ ජනාධිපති මැක්රොන්ගේ පාලන සමයේ හටගත් සුප්රකට "කහ කබා විරෝධතා" සිහිගන්වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මීට පෙර 2023 වසරේ විශ්රාම වැටුප් ප්රතිසංස්කරණවලට එරෙහිවද ප්රංශය පුරා මහා පරිමාණ වැඩවර්ජන හා ගැටුම් ක්රියාත්මක විය.
දැනට සිය ජනාධිපති ධුර කාලයේ අවසන් භාගය ගත කරන එමානුවෙල් මැක්රොන්, ප්රංශයේ රාජ්ය ණය බර පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වන පසුබිමක එරට ණය ලබා ගැනීමේ පිරිවැය දශක දෙකකට පසු ඉහළම අගයට ළඟා වී ඇති අතර, එය ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.
ප්රංශය ගිනි ජාලාවක්.. අට ලක්ෂයක් පාරට බැස විරෝධතා.. වෙලදසැල් කොල්ලකති.. පොලිසියට පහර දෙති..
2026-10-18T14:28:00+05:30
Gossip Lanka Hot News





