'නාමල් හිරේ දැම්මෙ මහින්දගේ පුතා නිසා' විමල්ගේ කතාවට අධිකරණ අපහාස නඩුවක්!
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ලබාදුන් තීන්දුවක් විවේචනය කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි වහාම විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පොලිස්පතිවරයාට නියෝග කළේය.
එයාර් බස් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
පසුගිය සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන රැළියකට එක්වෙමින් විමල් වීරවංශ මහතා සිදුකළ අදාළ ප්‍රකාශය අඩංගු වීඩියෝ දර්ශන සහිත සංයුක්ත තැටියක් ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් මෙහිදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. අදාළ සිදුවීමට සම්බන්ධ වීඩියෝ රූපරාමු ලබාගෙන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසද අධිකරණය විසින් පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.
මෙකී රැළියේදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ
' අද නාමල් රාජපක්ෂ හිරේ ඉන්නේ වෙන මොකක් නිසාවත් නෙවේ මහින්ද රාජපක්ෂගේ පුතා වුණ එකයි. ශිරන්ති රාජපක්ෂ මැතිනියවත් හිරේට ගන්න ලෑස්ති කියලා අපිට ආරංචියි. මහින්ද රාජපක්ෂගේ නම එක්ක ගෑවුණ ගෑවුණ සේරගෙන්ම පළි ගන්නේ හැට අට ලක්ෂය සතුටු කරන්නද නෑ. ඩයස්පෝරා එක සතුටු කරන්න.' කියා තිබේ.
අධිකරණයේ ස්වාධීනත්වයට සහ ගෞරවයට හානි වන ආකාරයේ මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ මෙම සිදුවීම පෞද්ගලික කාරණයක් ලෙස නොව සමස්ත අධිකරණ පද්ධතියේම බලය හා ගෞරවය ආරක්ෂා කරගැනීමේ පොදු අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවයි.
මේ අතර අදාළ එයාර් බස් ගනුදෙනු සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන සැප්තැම්බර් 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ පුවත තව අයට බලන්න
'නාමල් හිරේ දැම්මෙ මහින්දගේ පුතා නිසා' විමල්ගේ කතාවට අධිකරණ අපහාස නඩුවක්!
2026-09-19T08:27:00+05:30
Gossip Lanka Hot News






