‘කවුරුත් නැති වෙලාවෙ නාමල්ගේ මෙසෙ උඩ ඩොලර් ලක්‍ෂ අටක් තිවුවා’... නිමල් පෙරේරාගෙ සාක්‍ෂිය ඒකයි - ගම්මන්පිල
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, කිසිදු සාක්ෂියකින් තොරව හුදෙක් එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් මත පමණක් පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.
මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 08 ක කොමිස් මුදලක් ලබාගත් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ ගම්මන්පිල මහතා, එයාර් බස් සමාගමෙන් ප්‍රියංකා විජේනායක යන අයට කොමිස් මුදලක් ලැබුණු බවටත්, ඇය එම මුදලින් කොටසක් ඕස්ට්‍රේලියාවේ වසන නිමල් පෙරේරා නමැත්තෙකුට ලබාදුන් බවටත් සාක්ෂි පවතින බව පිළිගත්තේය.
එහෙත්, නිමල් පෙරේරා විසින් එම මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට පවසන ප්‍රකාශය හැර වෙනත් කිසිදු සාක්ෂියක් විමර්ශකයන් සතුව නොමැති බව ඔහු අවධාරණය කළේය.
"නිමල් පෙරේරා කියන්නේ කවුරුත් නැති වෙලාවක ගිහින් නාමල් රාජපක්ෂ මහතාගේ මේසය උඩ ඩොලර් ලක්ෂ 8 තියලා ආවා කියලා. මේ ප්‍රකාශය ඇරුණම වෙන කිසිම සාක්ෂියක් නෑ. මේක හරියට උගන්ඩාවේ සල්ලි හැංගුවා, රොකට් යැව්වා, රත්තරන් අශ්වයෝ ගෙනාවා, ලැම්බෝගිනි ගෙනාවා වගේම තවත් එක මාලිමා පචයක් පමණයි," යැයි ද හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
යම් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක නම සඳහන් වූ පමණින් අත්අඩංගුවට ගැනීමට හැකි නම්, මෙරට කිසිදු පුරවැසියෙකුට තවදුරටත් ආරක්ෂාවක් නොමැති බව ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම පොදු දේපළ පනත යටතේ නඩු පැවරීම හරහා සැකකරුවන්ට ඇප ලබාගැනීම අතිශය දුෂ්කර කර ඇති බවත්, මෙය මර්දනකාරී පාලනයක ලක්ෂණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අත්තනෝමතික ක්‍රියාව හරහා නාමල් රාජපක්ෂ මහතා පමණක් නොව, සමස්ත ජනතාවම අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව උදය ගම්මන්පිල මහතා සිය මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.
මේ පුවත තව අයට බලන්න
‘කවුරුත් නැති වෙලාවෙ නාමල්ගේ මෙසෙ උඩ ඩොලර් ලක්‍ෂ අටක් තිවුවා’... නිමල් පෙරේරාගෙ සාක්‍ෂිය ඒකයි - ගම්මන්පිල
2026-09-05T13:22:00+05:30
Gossip Lanka Hot News






