නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.
ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කළ විමර්ශනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර පසුව ඇපමත මුදා හැරුණි.
එසේ ඇපමත මුදාහැර සිටියදී කපිල චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය සැක පළ කළේය.
මේ අතර එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වශයෙන් නම්කර සිටින ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
එසේම ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයන් පිරිසක්ද ඉකුත් අගෝස්තු මස මුල් සතියේ මෙරටට පැමිණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.
එවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත සිදුකළ කැඳවීම මත ඒ මහතා අද පෙරවරු 9.15ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටිනු ලැබීය.
අත්අඩංගුවට ගත් ඒ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
2026-09-04T15:34:00+05:30
Gossip Lanka Hot News






