වහල මත සෝලා සදහා අනුමැතිය දීම සීමා කරන්නැයි නිල වශයෙන් දැනුම් දේ...
ශ්‍රී ලංකාවේ සමස්ත ස්ථාපිත සූර්ය විදුලි ධාරිතාව මේ වන විට මෙගාවොට් 3,070 ඉක්මවා ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (NSO) නිවේදනය කරයි.
කාලගුණික තත්ත්වයන්ට අනුකූලව මෙරට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 15 ත් 25 ත් අතර ප්‍රමාණයක් මේ වන විට සූර්ය බලශක්තිය මඟින් සපුරා ගන්නා බව එම සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
පවතින Net Metering, Net Accounting සහ Net Plus යෝජනා ක්‍රම ඔස්සේ වහල මත සවිකළ සූර්ය විදුලි පද්ධති (RTSPV) මඟින් මෙගාවොට් 2,542ක් සහ භූමිය මත ස්ථාපිත සූර්ය විදුලි බලාගාර මඟින් මෙගාවොට් 534ක් මේ වන විට ජාතික පද්ධතියට එක් කර ඇත. තවද අනුමැතිය ලත් ව්‍යාපෘති මඟින් මසකට මෙගාවොට් 25ත් 30ත් අතර ධාරිතාවක් අලුතින් එක් වෙමින් පවතින බවද සඳහන් වේ.
2026 වසර සඳහා අපේක්ෂා කළ වහල මත සවිකරන සූර්ය බලශක්ති ධාරිතාව මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බැවින් සහ පද්ධතියේ පවතින තාක්ෂණික සීමාවන් හේතුවෙන්, නව සූර්ය විදුලි ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමේදී පද්ධතියේ මෙහෙයුම් තත්ත්වයන් කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙස විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ (LECO) ඇතුළු බලපත්‍රලාභීන්ගෙන් NSO සමාගම ඉල්ලා ඇත.
මෙය පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සීමා කිරීමක් නොව, පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත් තාවකාලික ක්‍රියාමාර්ගයක් බව එම නිවේදනයෙහි අවධාරණය කෙරේ.
කෙසේ වෙතත්, පද්ධතියට විදුලිය මුදා නොහරින (Zero Export) සූර්ය විදුලි පද්ධති සඳහා මෙම සීමා කිරීම් අදාළ නොවන අතර, පාරිභෝගිකයන්ට දිවා කාලයේ නිපදවන විදුලිය බැටරි පද්ධතිවල ගබඩා කර රාත්‍රී කාලයේ භාවිතයට ගැනීමට හැකි වන පරිදි එම පද්ධති ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනේ. එමෙන්ම කුඩා පරිමාණ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා අනාගතයේදී ආනයනික බදු සහන ලබාදීමටද රජයේ අවධානය යොමුව ඇත.
මීට අමතරව, 2026 සැප්තැම්බර් 11 දිනට පෙර අනුමැතිය හිමිවූ සියලු සූර්ය විදුලි අයදුම්පත් වෙනසකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවසර හිමිවන අතර, Net Plus යෝජනා ක්‍රමය යටතේ නව අයදුම්පත් භාරගැනීම අඛණ්ඩව සිදු කෙරේ.
2027–2029 කාලසීමාව සඳහා සකස් කළ අන්තර්කාලීන වාර්තාවට අනුව තවත් මෙගාවොට් 1,392ක සූර්ය බලශක්තියක් සහ මෙගාවොට් පැය 4,660ක (1,240 MW) බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවද ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
-lankacnews
වහල මත සෝලා සදහා අනුමැතිය දීම සීමා කරන්නැයි නිල වශයෙන් දැනුම් දේ...
2026-09-27T08:03:00+05:30
Gossip Lanka Hot News





