සලේගේ තත්වය හොද නෑ... හෘද ස්පන්දනය පාලනයට උපකරණයක් සවි කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බැවින්, ඔහුට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඔහුගේ බිරිඳ වන මනෝරි සලෙයි මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය පෙන්වා දෙන්නේ, පසුගිය ජුනි 07 වැනිදා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන තම සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය රඳවා තබා ගැනීමේ කාලය තුළදී සීඝ්රයෙන් පිරිහී ගොස් ඇති බවයි.
රඳවා තබා ගැනීමට එරෙහිව ඔහු දියත් කළ උපවාසයක් හේතුවෙන් ඇති වූ සංකූලතා මත ඔහුව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහුට විශේෂ ශල්‍යකර්මයක් මගින් හෘද ස්පන්දනය පාලනය කරන උපකරණයක් (ICD) සවි කර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.
සලෙයි මහත්මිය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් පහත කරුණු ඉල්ලා සිටියි.
1. දැනට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය එහි කාලය අවසන් වූ පසු තවදුරටත් දීර්ඝ නොකිරීම.
2. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට පත් නොකර, අධිකරණ අධීක්ෂණය යටතේ පවතින රිමාන්ඩ් බන්ධනාගාර භාරයට පත් කිරීම.
3. ඔහුගේ හෘද රෝගී තත්ත්වය සලකා බලා අඛණ්ඩව විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සැලසීම.
තම සැමියා හෝ පවුලේ සාමාජිකයන් කිසිදු ආකාරයකින් නීත්‍යානුකූල පරීක්ෂණවලට බාධා කිරීමට අදහස් නොකරන බවත්, ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත් ඇය අවධාරණය කර ඇත.
වර්තමාන රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට සූදානම් වන පසුබිමක, මානුෂීය පදනම මත පිහිටා තම සැමියාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඇය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
පවතින බරපතළ සෞඛ්‍ය තත්ත්වය හමුවේ ඔහුව යළිත් සාමාන්‍ය සිර මැදිරියක රඳවා තැබීම ඔහුගේ ජීවිතයට ආපසු හැරවිය නොහැකි බරපතළ හානියක් විය හැකි බවද සලෙයි මහත්මිය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මේ පුවත තව අයට බලන්න
සලේගේ තත්වය හොද නෑ... හෘද ස්පන්දනය පාලනයට උපකරණයක් සවි කරයි
2026-08-22T07:48:00+05:30
Gossip Lanka Hot News





