gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශිරාන් බාසික් අලුත් දේශපාලන පක්ෂයකට බස් 10කින් සෙනගත් ඇද ඇති බව අනාවරණය වෙයි

රටට පිළිලයක් වෙමින් විදෙස්ගතව අපරාධ හා මත්කුඩු ජාවාරම්වල නිරත පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම් දැන් වෙනදාට වඩා තීව්‍ර වී ඇත.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ, ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර සිටින පාතාලයේ අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් රැසක් මෙරටට රැගෙන ඒමට සිටින බව ය.

“රතු වරෙ­න්තු­ක­රු­වන් 73ක් විතර ගේන්න ඉන්නවා. තවත් සීය­කට ආසන්න ප්‍රමා­ණ­යක් ඉන්නවා කියලා විශ්වාස කර­නවා. ඒ වගේම අපිට හොඳ ජාත්‍ය­න්තර සහ­යෝ­ග­යක් ලැබිලා තියෙ­නවා. ඒත් එක්කම අපි කරන වැඩ­පි­ළි­වෙළ විනි­වි­ද­භා­වය සහ ඒ සම්බ­න්ධ­යෙන් අපිට දක්වලා තියෙන ප්‍රග­තිය විදේශ තානා­පති කාර්යා­ල­වල, රට­ව­ල්වල විශේෂ ඇග­යී­ම­කට ලක් කරලා තියෙ­නවා.” මේ ඒ ගැන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ හඬය. පොලි­ස්ප­ති­ව­රයා මේ බව සඳ­හන් කරනු ලැබුවේ මහ­නු­ව­රදී පසු­ගිය 15 වැනි­දාය.

ඊට පෙර දින­යේදී පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නීති­වේදී උද­ය­කු­මාර වුට්ලර් මහතා ජාතික මෙහෙ­යුම් මධ්‍ය­ස්ථා­නයේ පැවති මාධ්‍ය හමු­ව­කදී සඳ­හන් කරනු ලැබුවේ මත්කුඩු ජාවා­ර­ම­ටද සම්බන්ධ පාතාල අප­රා­ධ­ක­රු­වන් 93 දෙන­කුට මේ වන විට ජාත්‍ය­න්තර පොලී­සි­යෙන් රතු නිවේ­දන නිකු­ත්කර ඇති බවය. එසේම ඔහු මෙහිදී ඉතා වැද­ගත් කරු­ණක් රටට හෙළි කළේය. එනම් වත්මන් ආණ්ඩුව බල­යට පැමිණි 2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ විදේ­ශ­ග­තව සිටි පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් 73 දෙනෙක් මෙර­ටට රැගෙ­න­විත් ඇති බවය. මේ අත­රින් 38 දෙනෙ­කු­ටම ජාත්‍ය­න්තර පොලී­සිය රතු නිවේ­දන නිකු­ත්කර ඇති අයයි.

ඒ හැරුණු කොට රතු නිවේ­දන නොමැ­තිව ඉන්දි­යාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපා­ලය වැනි රට­වල් කිහි­ප­ය­කම රැඳී සිටි පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් මෙන්ම විවිධ වැරදි සම්බ­න්ධ­යෙන් මෙර­ටට අවශ්‍ය අප­රා­ධ­ක­රු­වන් 35 දෙනෙක් මෙර­ටට ගෙන්වා ගෙන ඇත. විශේ­ෂ­ත්ව­යක් වන්නේ එම කොට­සය. ඒ රතු නිවේ­දන නොමැ­තිව එකී රට­වල පොලි­ස්ප­ති­ව­රුන් සමඟ පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාට ඇති සම්බ­න්ධ­කම් මත එම අප­රා­ධ­ක­රු­වන් මෙර­ටට රැගෙන ආ බව බොහෝ දෙනා නොදන්නා රහ­සකි. ඒ ජාත්‍ය­න්තර පොලිස් ප්‍රධා­නීන්ගේ සමු­ළු­ව­ලට සහ රැස්වී­ම්ව­ලට ගොස් කකා, බිබී, සාප්පු සවා­රියේ නොගොස් ඒ ඒ රට­වල පොලිස් ප්‍රධා­නීන් සමඟ ඇති කර­ගත් හිත­ව­ත්ක­ම්වල ප්‍රති­ඵ­ල­යකි.

ඉන්දු­නී­සි­යාවේ රැඳී සිටි කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වන් 05 දෙනෙක්ද, නේපා­ලයේ රැඳී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 06 දෙනෙක්ද, මල­යා­සි­යාවේ රැඳී සිටි මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වන සයිමා නමැ­ත්තාද එර­ටදී සිදු කළ මෙහෙ­යු­ම්ව­ලින් අල්ලා­ගෙන මෙර­ටට රැගෙන ඒමට හැකි­යාව ලැබුණේ එකී පොලිස් සම්බ­න්ධ­කම් හා වත්මන් රජය ජාත්‍ය­න්ත­රයේ දිනා­ගෙන ඇති විශ්වා­සය පද­නම් කර­ගෙ­නය. මෙවැනි මෙහෙ­යුම් ඊට පෙර වක­වා­නු­වල සිදුවී නැති තරම් බව පොලී­සිය පැත්තෙන්ම කිය­වෙන කරු­ණකි.

2024 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජාත්‍ය­න්තර පොලිස් රතු නිවේ­දන සහ එකී රට­වල් සමඟ ඇති සම්බ­න්ධ­කම් මත අල්ලා­ගෙන ආ අප­රා­ධ­ක­රු­වන් 73 දෙනා අතර වැඩි දෙනෙක්ම ප්‍රබල පාතාල අප­රා­ධ­ක­රු­වන් සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන්ය‍. එම ගොන්නට අලු­තින්ම එකතු වන චරි­තය බවට පත්වන්නේ ශිරාන් බාසික්ය. අංක එකේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ ලේඛ­න­ග­තව සිටින ඔහු මෙර­ටට එවන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසිනි. ඒ පසු­ගිය 14 වැනි­දාය.

ශිරාන් බාසික්ව අත්අ­ඩං­ගු­වට ගන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර­ක්ෂක අංශ මඟිනි. ඒ ඉරා­නය හා අමෙ­රි­කාව අතර ගැටුම් ආරම්භ කර ඉතා කෙටි කලක් තුළ­දීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුපිරි අව­න්හ­ල­කදී පසු­ගිය කාලයේ ශිරාන් බාසික් අත්අ­ඩං­ගු­වට ගන්නේ ඔහු­ටත් හිතා­ග­න්නට බැරි ආකා­ර­ය­ටය. සන්නද්ධ ආර­ක්ෂ­ක­යන් පිරි­සක් ඔහුව වට­කර මුලින්ම අතට ගන්නේ ඔහුගේ ජංගම දුර­ක­ත­න­යයි. අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු වන්නේ ජංගම දුර­ක­ත­නය පරීක්ෂා කිරී­මෙන් අන­තු­රු­වය. ඊට හේතු වන්නේ ඉරා­නය – අමෙ­රි­කාව අතර හට­ගත් ආර­ක්ෂක උණු­සුම මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇති අමෙ­රි­කානු හමුදා කඳ­වු­රු­ව­ලට එල්ලවූ ප්‍රහාර වීඩි­යෝ­ගත කිරීම මෙන්ම එම දර්ශන හා ඡායා­රූප බෙදා­හැ­රීම තහ­නම් කර තිබි­යදී ඒවා හුව­මාරු කිරීම සම්බ­න්ධ­යෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යට අයත් ඩුබා­යිහි ව්‍යාපාර කිහි­ප­ය­කම හිමි­ක­රු­වෙක් වන ශිරාන් බාසික් ශ්‍රී ලංකාවේ අංක එකේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් බව මෙරට පොලී­සිය පැත්තෙන් කියැ­වු­ණත් එර­ටට ඔහු ව්‍යාපා­රි­ක­යෙකි. ඩුබා­යිහි ඔහු රැඳී සිටි­යේද ව්‍යාපා­රික වීසා මඟිනි. ප්‍රකෝ­ටි­ප­ති­යෙක් ලෙස ඩුබා­යිහි වැජ­ඹුණු ඔහු එරට සිටින ලොකුම නීතිඥ සමා­ගමේ සහය ලබා­ග­නි­මින් කෝටි ගණන් මුදල් වැය කළද බේරී­මට කිසිදු ඉඩක් නොවීය. ඔහුව සිය මවු රටට පිටු­ව­හල් කිරී­මට ඒ වන විටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීර­ණය කර තිබුණි. එය දිනෙන් දින ප්‍රමාද වූයේ ඔහු සහය ලබා­ගත් නීතිඥ සමා­ගමේ බල­ව­ත්කම නිසාය.

ශිරාන් බාසික් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින බව මෙරට ආර­ක්ෂක අංශ කාල­යක් තිස්සේම දැන සිටියා පම­ණක් නොව, ඔහු ගැන ඇස ගසා­ගෙ­නද සිටි­යේය. එමීර් පොලී­සිය විසින් බාසික් අත්අ­ඩං­ගු­වට ගෙන දින කිහි­ප­යක් තුළ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ඒ බව අනා­ව­ර­ණය වුවත් ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනීම ගැන මෙරට මාධ්‍ය තුළ දැඩි කතා­බ­හ­කට ලක්වන්නේ මැයි මාසයේ සිටය.

එමීර් පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි ශිරාන් බාසික් මෙර­ටට ගෙන්වා ගැනීම එත­රම් ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවීය. එය අභි­යෝ­ග­යක් බවට පත් වූයේ ශ්‍රී ලංකාවේ අංක එකේ මත්කුඩු ජාවා­ර­ම්කරු ලෙස පොලී­සිය විසින් නම් කර ඇති ඔහුට එරෙ­හිව අඩුම තර­මින් ජාත්‍ය­න්තර පොලී­සි­යෙන් රතු නිවේ­ද­න­යක් පවා නිකු­ත්කර නොමැති වීම හේතු­වෙනි.

පොලිස් තොර­තු­රු­ව­ලට අනුව, බාසික්ගේ ඉති­හාස කතාව පිරි­ක්සී­මේදී පෙනී යන්නේ 48 හැවි­රිදි වියේ පසු­වන ඔහු මත්කුඩු ජාවා­ර­මට අත­පොත් තබා ඇත්තේ දශක දෙක­කට පමණ පෙරදී බවය. ඒ මේ වන විට මරණ දණ්ඩ­නය නියම වී සිටින වෙලේ සුදාගේ ගෝල­යෙක් ලෙසිනි. එකල ඔහු පදිං­චිව සිටියේ දෙහි­වල සත්වෝ­ද්‍යා­නය පිටු­පස ඇති වන­ර­තන පාරේය. බාසික්ගේ පියා වෘත්ති­යෙන් ත්‍රිරෝද රථ රියැ­දු­රෙකි. ඉහළ අධ්‍යා­ප­න­යක් නොලබා සිටි බාසික්ට සිය කුලු­ඳුල් රැකි­යාව ලෙස ලැබෙන්නේ දෙහි­වල ගල්කිස්ස මහ නගර සභාවේ කොඩි කණු අංශයේ කම්කරු තන­තු­රකි. බාසික් මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ වන්නේ නගර සභාවේ සේව­ක­යෙක් ලෙස රැඳී සිටි­ය­දීය.

බඩෝ­විට කේන්ද්‍ර කර­ගෙන සුළු පරි­මා­ණ­යෙන් මත්කුඩු ජාවා­රමේ නිර­තව සිටි වෙලේ­සුදා මහා පරි­මා­ණ­යෙන් මත්කුඩු ජාවා­ර­මට මුල පුරන්නේ මේ වක­වා­නු­වේ­දීය. එකල මත්කුඩු ඔතා අලෙවි කරනු ලැබුවේ සිග­රට් පෙට්ටියේ ඇති ඊයම් කොළ­යේය. ඊයම් කොළයේ මත්කුඩු ඔත­නවා වෙනු­වට මුද්‍ර­ණය කළ කඩ­දා­සි­යක තමා­ගේම සන්නා­ම­යක් (Brand) ඇතිව මත්කුඩු මුලින්ම බෙද­න්නට ගත්තේ වෙලේ­සු­දාය. නගර සභාවේ රැකි­යා­වට අම­ත­රව පැකට් දහය පහ­ළොව වෙලේ­සු­දා­ගෙන් ලබා­ගෙන දෛනි­කව මත්කුඩු අලෙවි කිරීමේ නිර­තව සිටි බාසික්, පසුව තමා­ටම කියා ගෝල­යන් දෙතුන් දෙනකු බිහි­ක­ර­ගෙන ග්‍රෑම් සිය ගණ­නින් මත්කුඩු බෙද­න්නට පටන් ගන්නේ වෙලේ සුදා රටින් පලා යාමත් සම­ඟිනි. බාසික් ඒ වන විටත් සිද්ධික් ඇතුළු ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් සමඟ සමීප සම්බ­න්ධ­කම් ගොඩ­න­ඟා­ගෙන සිටියේ වෙලේ­සු­දාගේ අඩි­පාරේ යමිනි.

මෑත කාල­යේදී දෙහි­වල, ගල්කිස්ස සහ කොහු­වල ආශ්‍රි­තව සිදු වූ වෙඩි තැබීම් සහ ඝාත­න­ව­ලට නම් කියැ­වෙන චූවා සමන්ත සහ බඩෝ­විට අසංක නමැති පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් බාසික්ගේ මුල්කා­ලයේ ගෝල­බා­ල­යන්ය.

දෙහි­වල පැත්තේ සිටි ප්‍රබල කසිප්පු ජාවා­ර­ම්ක­රු­වෙක් ලෙස පොලී­සිය එකල හඳු­නා­ගෙන සිටියේ ආනන්ද නමැ­ත්තාව ය. ඔහුගේ ජාවා­රම් මධ්‍ය­ස්ථා­නය පිහිටා තිබුණේ දෙහි­වල වෙරළ තීරය ආස­න්න­යේය. මැරීන් ඩ්‍රයිව් මාර්ගය අද ඇත්තේ එම භූමිය මැදිනි. ආනන්ද කසිප්පු ජාවා­රමේ එදා නිර­තව සිටින විට, එතැන සිට මත්කුඩු ජාවා­රම කර­ගෙන ගියේ බාසික් බව පොලී­සිය පැත්තෙන් කියැ­වෙ­න්නෙකි.

මැරීන් ඩ්‍රයිව් මාර්ගය ඉදි­වී­මෙන් පසු වෙරළ තීර­යට ඉහළ වටි­නා­ක­මක් ඇති වූ විට, ආන­න්දට අයත්ව වෙර­ළට යාබ­දව තිබූ ඉඩම් කැබැ­ල්ලට පවා බාසික් කෙළ හලා තිබුණි. අව­සා­න­යේදී කෝටි ගණ­නක් වටිනා එම ඉඩම් කැබැල්ලේ අයි­තිය ආන­න්ද­ගෙන් ගිලිහී යන්නේ තෑගි ඔප්පු­ව­කින් බාසික්ගේ පියාගේ නමට ලියැ­වෙ­මිනි. එතැන ලොකු හෝට­ල­යක් ඉදිවූ අතර, අව­සා­න­යේදී එම හෝට­ලය සමා­ග­ම­කට කුලි­යට දෙන්නේ මස­කට රුපි­යල් ලක්ෂ අට නව­ය­ක­ටය. දේශ­බ­න්දුගේ ‘යුක්තිය’ මෙහෙ­යු­මට සම­ගා­මීව දෙහි­වල පිහිටි හෝට­ල­යක් කඩා දැමී­මට යාමෙන් රටේ ලොකු ආන්දෝ­ල­න­යක් ඇති වූයේ ද එම හෝට­ලය කඩා දැමී­මට යාම නිසාය.

එය ශිරාන් බාසික්ට සම්බ­න්ධ­කම් ඇති එක් හෝට­ල­යක් පමණි. තවත් හෝටල් හතර පහක්ම මුහුදු මාවත සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රි­තව ඇති බව කියැ­වෙයි. ඒ අත­රින් ඔහුගේ පුතාට සම්බ­න්ධ­කම් පැවති හෝට­ල­යක් ද පසු­ගිය කාලයේ නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය විසින් තහ­නම් කිරී­මට (අක්‍රිය කිරී­මට) පිය­වර ගත්තේය.

වෙලේ සුදා පාකි­ස්තා­න­යේදී අල්ලා­ගෙන මෙර­ටට රැගෙ­න­විත් යහ­පා­ලන ආණ්ඩුව සම­යේදී ඔහුට එරෙ­හිව නඩු අසන විට, වෙලේ සුදාගේ අඩුව පුර­වන්නේ බාසික්ය. ඔහු මහා පරි­මා­ණ­යෙන් මත්කුඩු ජාවා­රම මෙහෙ­ය­ව­මින් සිටි­යදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ අත්අ­ඩං­ගු­වට පත්වන්නේ 2016 වස­රේ­දීය. ඒ හෙරො­යින් ග්‍රෑම් 50ක් හෝ එම ආසන්න ප්‍රමා­ණ­යක් සම­ඟිනි. බන්ධ­නා­ගා­ර­ගත වන බාසික් ඇප මත නිද­හස් වන්නේ 2018 වස­රේ­දීය. ඇප ලැබුණු සැණින් බාසික් රටින් පැන ගන්නේ ඔහුට එරෙ­හිව විදෙස් ගමන් තහ­න­මක් ඇප කොන්දේසි තුළ නොවූ බැවිනි. ඒ 2018 වසරේ ජූනි 02දාය.

එතැන් සිට බාසික්ගේ හැම මෙහෙ­යු­මක්ම සිදු වන්නේ ඩුබායි කේන්ද්‍ර කර­ගෙ­නය. ඇෆ්ග­නි­ස්තාන, ඉරාන සහ පාකි­ස්තානු මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන්ගේ මත්කුඩු මෙරට තුළ බෙදා­හැ­රීමේ ජාල­යෙන් 50%ක පමණ කොට­සක හිමි­කා­රී­ත්වය දරන්නේ බාසික් බව පොලී­සිය පව­සයි. ඒ බාසික් ගනු­දෙනු නිසි ලෙස පිය­ව­න්නකු ලෙස එම ජාලය තුළ නමක් දිනා සිටි­න්නකු වන බැවිනි. බාසික් ඩුබායි සිට පොලී­සියේ විවිධ තරා­ති­ර­ම්වල නිල­ධා­රීන් මෙන්ම දේශ­පා­ල­න­ඥ­යන් ද නඩත්තු කර ඇති බව කියැවේ. දෙහි­වල ගල්කිස්ස ආශ්‍රි­තව ක්‍රියා­ත්මක වන පද­න­මක් මඟින් ඔහු මාස්පතා දුප්පත් ජන­තා­වට බඩු­මලු බෙදා දුන්නේය. ඒ සඳහා ලක්ෂ ගණ­නක මුද­ලක් ඔහු මාස්පතා වැය කරන බව සඳ­හන්ය.

එම පද­නමේ සාමා­ජි­ක­යන් කිහිප දෙනකු මෑත­කදී පැවති පළාත් පාලන මැති­ව­ර­ණ­යට පවා ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ­ය­කින් දෙහි­වල ගල්කිස්ස නගර සභා­වට තර­ග­කර තිබුණි. සිය පුතාව පවා දේශ­පා­ල­න­යට ගෙන්වා ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ­ය­කින් තරග කර­වී­මට උත්සා­හ­යක් ද ඔහු ගත්තේය. ඊට වැට බැඳෙන්නේ මුදල් විශු­ද්ධි­ක­ර­ණය යටතේ පුතාට එරෙ­හිව නීති­වි­රෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය විසින් ආරම්භ කළ විම­ර්ශ­න­යක් හේතු­වෙනි.

බාසික් ඩුබායි සිට ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ කිහි­ප­ය­ක­ටම උදව් උප­කාර කර ඇති බව සඳ­හන්ය. සිය පද­නමේ දෙදෙ­නකු දෙහි­වල ගල්කිස්ස මහා නගර සභා­වට ඉදි­රි­පත් කළ පක්ෂය විසින් දෙහි­වල සංවි­ධා­නය කළ ලොකුම දේශ­පා­ලන රැස්වී­මට විය­හි­ය­දම් දරා තිබුණේ බාසික් බව බුද්ධි අංශ එකල වාර්තා කර තිබුණි. හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යකු ද එම රැස්වී­මට සහ­භාගි වී සිටි බව සඳ­හන්ය.

මෑත­කදී ආරම්භ කළ තවත් දේශ­පා­ලන පක්ෂ­යක මැති­ව­රණ සම­යේදී කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවති රැස්වී­ම­කට පවා දෙහි­වල ගල්කිස්ස පැත්තෙන් බස් රථ­වල පටවා සෙනඟ ඇද තිබුණේ බාසික්ගේ අණට අනුව යැයි කියැ­වෙයි. බස් රථ 10ක් පමණ පුරවා 1,000කට ආසන්න පිරි­සක් එදා සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණය වෙත රැගෙන ගොස් තිබුණු බව සඳ­හන්ය. ඒ පැමිණි එක් අය­කුට රුපි­යල් 3,000ක් සමඟ කන්න බොන්න පවා ලබා­දෙ­මිනි.

බාසික් ඩුබා­යිහි රැඳී සිටි­මින් දේශ­පා­ලන ‘ගේම්’ ගැසුවේ එසේය. එසේම අල්ල­න්නට හැකි හැම පැත්ත­කින්ම පොලී­සියේ උද­විය මෙන්ම තවත් බොහෝ තැන්වල උද­විය මුදල් බල­යෙන් තමා වෙත නම්‍ය­ශීලී කර­ග­ත්තේය. එසේ වුවද, ඔහු එම බලය යොදා­ගෙන මිනී­මැරූ බවට හෝ බිය­ගැ­න්වීම් කළ බවට කිසිදු පැමි­ණි­ල්ලක් පොලිස් පොත්වල නැත. අඩුම තර­මින් බාසික් අද­ටත් අධි­ක­ර­ණ­ය­කින් වර­ද­කරු වී ඇති බවට තොර­තු­රක් සොයා ගැනී­මට නැති තරම්ය.

බාසික් මත්කුඩු ජාවා­රම පම­ණක් කර­ගෙන ගිය අයකු මිස, පාතාල අප­රා­ධ­ව­ලට සම්බන්ධ වූ අප­රා­ධ­ක­රු­වකු ලෙස කුප්‍ර­කට වූයේ ද නැත. ඒ නිසා සෙසු මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන්ට මෙන් ඔහු සම්බ­න්ධ­යෙන් සමා­ජයේ හෝ පොලී­සියේ විශේෂ අව­ධා­න­යක් යොමු වූයේ ද නැත. 2016 වස­රේදී මත්කුඩු සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශ­යෙන් ඇල්ලූ නඩු­වෙන් පවා 2024 මාර්තු 14 වැනිදා අධි­ක­ර­ණය ඔහුව නිදොස් කොට නිද­හස් කරන්නේ එවැනි තත්ත්ව­යක් හමු­වේය. ඒ සාක්ෂි පර­ස්ප­රවූ තත්ත්ව­යක් හමු­වේය.

මෙම කුඩු නඩුව සම්බ­න්ධ­යෙන් බාසික් අධි­ක­ර­ණය මඟ­හැර විදෙ­ස්ග­තව සිටීම හේතු­වෙන්, ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් ඔහුට එ‍රෙහිව රතු නිවේ­ද­න­යක් පවා පොලී­සිය ලබා­ගෙන තිබුණි. එම නඩු­වෙන් ඔහු නිදොස් කොට නිද­හස් කිරී­මත් සමඟ රතු නිවේ­ද­නය පවා ඉවත් කර­ගැ­නී­මට සිදු වන්නේ එය තව­දු­ර­ටත් වලංගු නොවූ බැවිනි.

බාසික් එසේ රතු නිවේ­ද­න­යෙන් නිද­හස ලබන විට, 2024 වසරේ මැයි 01 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළ­කාය යටතේ එකල පැවති විශේෂ පොලිස් අංශය විසින් ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලය අස­ලදී මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමඟ කොටු­කර ගන්නේ බාසික්ගේ කළ­ම­නා­කරු බව කියන පුද්ග­ල­යාය. ‍ ‍‍ෙමරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමා­ග­මක මහ­ර­ගම පිහිටි ශාඛාවේ හිටපු කළ­ම­නා­කරු වූ ඔහු මත්කුඩු ප්‍රවා­හ­නය කර­මින් සිට ඇත්තේ සු‍ඛෝප­භෝගී ජීප් රථ­ය­කිනි. බාසික්ගේ මත්කුඩු ජාලයේ එතෙක් සැඟ­වුණු රහස් රැසක් හෙළි වන්නේ ඒ සම­ඟිනි.

එහෙත් ඒ ගැන වැඩි කාල­යක් එම නිල­ධා­රීන්ට විම­ර්ශන පැවැ­ත්වී­මට ඉඩක් නොවීය. මාස දෙකක් යන්නට මත්තෙන් එම ඒක­කයේ නිල­ධා­රීන් සීසී­කඩ මාරු කර යැවිණි. ඒ පිටු­පස සිටියේ ශිරාන් බාසික් බව එම නිල­ධා­රීන් පවා දැන­ගන්නේ බොහෝ කාල­ය­කට පසු­වය. එකල ආණ්ඩුවේ සහ පොලී­සියේ ඉහළ නිල­ධා­රීන් සමඟ ශිරාන් බාසික්ට පැවති සම්බ­න්ධ­කම් එකල එත­රම් ප්‍රබ­ලය. ශිරාන් බාසික්ට ‘සර්’ යැයි කියන පොලිස් නිල­ධා­රීන් ද නැත්තේම නැති තරම්ය.

ඉරාන හා අමෙ­රිකා යුද්ධය ඇති නොව­න්නට බාසික් තව­දු­ර­ටත් ඩුබා­යිහි රැඳී සිටි­මින් නිද­හසේ මත්කුඩු ජාවා­රම මෙහෙ­ය­වනු ඇත. වැඩ වැර­දුණු ඔහුව මෙර­ටට ගෙන්වා ගැනී­මට පොලී­සිය පසු­ගිය කාලය පුරා­ව­ටම නොගත් වෙහෙ­සක් නැති තරම්ය. එසේ වුවද එක­වර ඔහුව මෙර­ටට භාර­දී­මට තරම් එමීර් පොලී­සිය සූදා­නම් වූයේ නැත. ඔහුව සාජාහි පිහිටි රැඳ­වුම් මධ්‍ය­ස්ථා­න­යක රඳවා තබා­ගෙන දෛනි­කව එමීර් පොලී­සිය ඔහු­ගෙන් ප්‍රශ්න කළේය. මාස 05ක පමණ කාල­යක් රඳ­වා­ගෙන කළ ප්‍රශ්න කිරීම් සහ විම­ර්ශන අව­සා­න­යේදී ඔහු­ගේම මුද­ලින් ගුවන් ගමන් බල­ප­ත්‍ර­යක් සකස් කර මෙර­ටට එවන්නේ ‘එයාර් ඇරේ­බියා’ ගුවන් යාන­යක නංවාය.

ශිරාන් බාසික් මෙර­ටට එන බව දින දෙකක සිට මෙරට පොලී­සිය දැන සිටි අතර, ඔහු සම්බ­න්ධ­යෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය ද සිටියේ දැඩි විම­සි­ල්ලෙනි. ඒ අව­ශ්‍ය­තා­වක් මතු වුව­හොත් ඔහුව මෙර­ටට පිටු­ව­හල් කිරී­මේදී අවශ්‍ය වන තාව­කා­ලික විදෙස් ගමන් බල­ප­ත්‍රය පවා සක­ස්කර දෙන්න­ටය. අව­සා­න­යේදී ඔහු මෙර­ටට එවන්නේ පිටු­ව­හල් කිරී­ම­කින් තොරව සාමාන්‍ය ගුවන් මගි­යකු ලෙසිනි.

මාක­ඳුරේ මධුෂ්ගේ දිය­ණි­යගේ උප­න්දින සාද­යේදී 2019 වස­රේදී ඩුබායි පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගත් අය අතර සිටි කංජි­පානි ඉම්රාන් මෙර­ටට එවී­මේදී, ඔහු ගුවන් යානය තුළ රැඳී සිටි­මින් සිය ජංගම දුර­ක­ත­න­යෙන් ගුවන් ටික­ට්පත් නියෝ­ජි­ත­යන් සම්බන්ධ කර­ගෙන ගුව­න්තො­ටු­පො­ළින් පිට­තට ඒමට පෙර මාල­දි­ව­යි­නට පැන ගැනී­මට උත්සා­හ­යක් ගත්තේය. ඊට නොදෙ­වැනි සැල­සු­මක් බාසික්ට තිබු­ණු බව පොලිසිය සැක කළේය. එය ව්‍යර්ථ වන්නේ මාල­දි­ව­යින බලා ගුව­න්ගත වීමට තිබුණු ගුවන් යානය ගුව­න්ගත කිරී­මට පෙර බාසික් රැගත් ගුව­න්යා­නය ගොඩ­බ­ස්සවා නොති­බුණු බැවිනි.

බාසික් රැගත් ගුවන් යානය කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළට ගොඩ­බ­ස්සන විට, මුළු ගුව­න්තො­ටු­පො­ළේම ආර­ක්ෂාව තර කිරී­මට ආර­ක්ෂක අංශ පිය­වර ගත්තේය. ඒ ඔහුට සුළු ඉඩ­කි­න්වත් රිංගා පලා යාමට ඉඩ නොත­බ­මිනි. ගුව­න්යා­නය ගොඩ­බැ­ස්ස­වී­මෙන් අන­තු­රුව බාසික්ව පහ­සු­වෙන් හඳු­නා­ගත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන විම­ර්ශන කට­යුතු සඳහා භාර­දෙන්නේ මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශ­ය­ටය. ඔහුව එම කාර්යාං­ශයේ රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වන්නේ පැය 72ක රැඳ­වුම් නියෝ­ග­යක් ද ලබා­ගෙ­නය. එම රැඳ­වුම් නියෝ­ගය තවත් කාල­ය­කට දීර්ඝ කර­ගැ­නීමේ උත්සා­හ­යක් ද නැත්තේම නැත. ඒ වෙනු­වෙන් සිදු වන කට­යුතු බොහෝය.

පොලිස් මාධ්‍ය කොට්ඨා­සය මේ සම්බ­න්ධ­යෙන් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කර ඇත්තේ බාසික්ට එරෙ­හිව ගිනි­අවි සන්ත­කයේ තබා­ගැ­නී­මක්, බර­ප­තළ හා තියුණු ආයුධ සන්ත­කයේ තබා­ගැ­නී­මක් සම්බ­න්ධ‍යෙන් ගල්කිස්ස, දෙහි­වල සහ පිළි­ය­න්දල පොලිස් ස්ථාන­වල විම­ර්ශන ඇති බවය. ගිනි­අවි සන්ත­කයේ තබා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් බාසික්ට එරෙ­හිව චෝදනා එල්ල වී ඇත්තේ ඔහු රටින් යන්නට පෙරය. ඒ ඔහු­ටත් බිරි­ය­ටත් කළු­බෝ­විල රෝහල ආස­න්න­යේදී එල්ල වූ වෙඩි ප්‍රහා­ර­ය­කින් අන­තු­රු­වය. බාසික් සිය ආර­ක්ෂා­වට ගිනි­අ­වි­යක් ළඟ තබා­ගෙන සිටින්නේ එම සිදු­වී­මෙන් අන­තු­රු­වය. ගිනි­අවි චෝද­නා­වක් එල්ල වන්නේ එම අවිය සමඟ ඔහු පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගැනීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙසිණි.

මේ හැරු­ණු­කොට බාසික්ට එරෙ­හිව මත්ද්‍රව්‍ය ජාවා­රම් කිරීමේ චෝදනා ද, නීති­වි­රෝධි රැස්වී­මක සාමා­ජි­ක­යකු වීම හා අනර්ථ කිරීම සම්බ­න්ධ­යෙන් ද චෝදනා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි. ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණයේ ඇති නඩු ගැන එහි කිසිඳු සඳ­හ­නක් නැත. ඇත්තේ ඔහුට ඇති චෝදනා පමණි.

මේ අතර බුද්ධි අංශ සඳ­හන් කරනු ලබන්නේ බාසික් ඇප­මත මුදා­ගැ­නී­මට රුපි­යල් කෝටි ගානක් වුවත් විය­දම් කිරී­මට ඔහුගේ සග­යන් මේ වන විටත් සූදා­න­මින් සිටින බවය. මේ තත්ත්වය මත පැය 72ක් අව­සන් වන විට බාසික් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­යිද? නැති­නම් තව­දු­ර­ටත් රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වා­වි­දැයි ද? ඇත්තේ මධ්‍යම අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය විසින් ඔහු­ගෙන් කරනු ලබන ප්‍රශ්න කිරී­ම්ව­ලදී හෙළි වන තොර­තුරු මතය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka