gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැඩි ආරක්ෂාවක් මැද හෝමාගම උසාවියට රැගෙන ආ එක්නැළිගොඩ නඩුවේ සාක්ෂිකරු 'මුරලි' සිද්ධිය හෙළි කරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2009 වසරේ අගෝස්තු මස 27 වැනිදා පැහැරගැනීමට ලක්වීමේ සිද්ධියට සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය හෝමාගම මහාධිකරණය හමුවේ ඊයේ  (28) පැවැත්විණි.

එහිදී මෙම නඩුකරයේ සිව්වැනි සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් තවේන්ද්‍රන් නොහොත් "මුරලි" නැමැත්තා විවෘත අධිකරණයේදී සිය සාක්ෂි ලබාදීම ආරම්භ කරන ලදී.

මෙම සාක්ෂිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් හෝමාගම මහාධිකරණ පරිශ්‍රය තුළ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවමින් විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබීම කැපී පෙනෙන සිදුවීමක් විය. තමන් අතීතයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය නියෝජනය කළ බවත්, යුද්ධය අවසන් වීමෙන් අනතුරුව හමුදාවට භාර වී ඔවුන් සමඟ එක්ව කටයුතු කළ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ අනාවරණය කළේය.

මන්නාරම මඩු දේවාලයේ පැවැති මංගල්‍යයකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛකලනාදන් සහ ඩොක්ටර් ජයලත් ජයවර්ධන යන මහත්වරුන් පැමිණි අවස්ථාවකදී තමන් ඔවුන් හමුවූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී සෙල්වම් අඩෛකලනාදන් මහතා විසින් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව තමන්ට හඳුන්වා දුන් බව සඳහන් කළ සාක්ෂිකරු, 2001 වසරෙන් පසු පැවැති යුද විරාම සමයේ ආරම්භ වූ මෙම සබඳතාව 2004 සුනාමි ව්‍යසනය දක්වාම පවත්වාගෙන ගිය බව අධිකරණය හමුවේ පැවසීය.

හමුදාවට භාරවීමෙන් පසුව තමන් යම් කාලයක් ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ රැඳී සිටි බවත්, පසුව ගිරිතලේ කඳවුර වෙත රැගෙන ගොස් මාංචු දමා රඳවා තැබූ බවත් ඔහු සඳහන් කළේය. එම කාලසීමාවේදී දුරකථනයේ ශබ්ද විකාශකය ක්‍රියාත්මක කරමින් තමන් ලවා විවිධ පුද්ගලයන්ට අමතන්නට සැලැස්වූ බවද සාක්ෂිකරු අනාවරණය කළේය. එමෙන්ම තමන් හමුදාවට භාරවන අවස්ථාවේ සාක්කුවේ තිබූ දුරකථන අංකය පිළිබඳව නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී එය ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අංකය බව හෙළි වූ බවත්, සාක්ෂි දෙමින් සිටියදී චම්මිකුමාර රත්නම් සහ ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකු අධිකරණයේදී හඳුනාගැනීමටත් සාක්ෂිකරු සමත් විය.

සාක්ෂි ලබාදීමේදී 2010 වසරේ ජනවාරි මාසයේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සමඟ අදහස් හුවමාරු කරගත් බවට සාක්ෂිකරු ප්‍රකාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී විත්තිකරුවන්ගේ නීතිඥ මණ්ඩලයෙන් දැඩි විරෝධයක් එල්ල විය. 2010 සිදුවීමට අදාළව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ වෙනත් නඩුවක් විභාග වන පසුබිමක, 2009 ඔක්තෝබර් 27 සිදුවූ පැහැරගැනීමට අදාළව හෝමාගම මහාධිකරණයේ විභාග වන නඩුවකදී එම කරුණු ඉදිරිපත් කරන්නේ කෙසේදැයි නීතිඥවරු ප්‍රශ්න කළහ. සාක්ෂි ආඥා පනතේ 5 වැනි වගන්තියට අනුව අදාළ සිදුවීමට පරිබාහිරව සාක්ෂි ලබාදීමට විරෝධය පළ කරන බවත්, අදාළ සිදුවීම් මාලාවට පමණක් සාක්ෂි මෙහෙයවීමට බාධාවක් නැති බවත් නීතිඥවරු පෙන්වා දුන්හ.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දීර්ඝ ලෙස කරුණු දක්වන ලදී. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ වොක්ස්වෙල් පෙරේරා මහතා සාක්ෂි මෙහෙයවූ අතර, විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රසික බාලසූරිය මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ. ඉදිරිපත් වූ විරෝධතා සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කිරීමට නියෝග කළ හෝමාගම මහාධිකරණ විනිසුරුවරිය, වැඩිදුර සාක්ෂි විභාගය සහ අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා කල් තබන ලදී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka