විජේවීර ඝාතනය : විශ්‍රාමික මේජර් ජෙනරාල් තෝරදෙණිය පැවරූ නඩුව කොළඹ මහාධිකරණය ඉවත දමයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අත්අඩංගුවේ සිටියදී ඝාතනය කිරීමට තමන් සම්බන්ධ බවට ප්‍රකාශ කිරීම වැළැක්වීමට ඉල්ලා විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය විසින් පවරා තිබූ නඩුව කොළඹ මහාධිකරණය විසින් නිෂේධ කර දැමූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
අන්තර්ජාල සුරක්ෂිතතා පනත (Online Safety Act) යටතේ සමාජ මාධ්‍ය ජාල කිහිපයකට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභා සභික ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
එම වකවානුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කළ ඉන්ද්‍රානන්ද ද සිල්වා, තමන් මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවකු බව පවසමින්, එවකට යුද හමුදා නිලධාරියෙකු වූ තෝරදෙණිය විජේවීර ඝාතනයට සම්බන්ධ වූ බවට ප්‍රසිද්ධියේ චෝදනා කර තිබේ.
මෙම ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඊට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගෙන තිබිණි.
අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එය නිෂේධ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනය කරයි.
එසේම, ජවිපෙ නායකයන් අත්අඩංගුවේදී මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ඉන්ද්‍රානන්ද ද සිල්වා මීට වසරකට පමණ පෙර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබූ බවද පක්ෂය සඳහන් කරයි.
එම විමර්ශනයේදී ඇසින් දුටු සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි දීමට තමන් සූදානම් බව ප්‍රකාශ කර තිබියදීත්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මෙතෙක් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවටද පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩිදුරටත් චෝදනා කරයි.
මේ පුවත තව අයට බලන්න
විජේවීර ඝාතනය : විශ්‍රාමික මේජර් ජෙනරාල් තෝරදෙණිය පැවරූ නඩුව කොළඹ මහාධිකරණය ඉවත දමයි
2026-07-28T06:43:00+05:30
Gossip Lanka Hot News





