රැදවියන් 14ක් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්.. ජේලර්ලාට වෙඩි වැදී නෑ.. මියගොස් ඇත්තේ පහරදීමෙන්..- මරණ පරීක්‍ෂණයෙන් හෙලිවේ..
මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් මියගිය රැඳවියන් අතරින් 14 දෙනෙකුම වෙඩි වැදීමෙන් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබේ. රැඳවියන් කණ්ඩායම් දෙකක් අතර හටගත් මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවලට අනුව, රැඳවියන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් ද, තවත් 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් ද මියගොස් ඇති අතර එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇත.
මෙම මාරාන්තික ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කර ඇත්තේ ඉතා අමානුෂික අයුරින් බවයි.
ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් අට දෙනාගේ මරණ ඉතා අමානුෂික අයුරින් සිදු කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබේ.
එහිදී හෙළි වී ඇත්තේ මෙම නිලධාරීන් සියලු දෙනාගේම පාහේ හිසට මොට ආයුධවලින් බරපතළ ලෙස පහර දී ඇති බවයි.
විශේෂයෙන්ම, ඇතැම් නිලධාරීන් මුනින් අතට බිම ඇද වැටී සිටියදී පොලු මුගුරුවලින් ඔවුන්ගේ හිසට සහ ශරීරයට අතිවිශාල වාර ගණනාවක් දරුණු ලෙස පහර දී ඇති බව වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම ප්‍රහාර හේතුවෙන් සිදු වූ හිස්කබල පිපිරීම් සහ මොළය අභ්‍යන්තරයට සිදු වූ ලේ ගැලීම් නිලධාරීන්ගේ මරණයට සෘජුවම හේතු වී තිබේ.
මියගිය එක් නිලධාරියෙකු ඩෙංගු රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටියදී එදින සේවයට වාර්තා කර සිටි අයෙකු බව ද අනාවරණය විය.
විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාරය භාරයේ තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවි 22ක් සහ T-58 වර්ගයේ ගිනි අවි 10ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, අතුරුදන්ව තිබූ රිපීටර් ගිනි අවියක් ද බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්ගේ නියෝගය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව දැනට බන්ධනාගාරයේ රැඳී සිටින රැඳවියන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ කර ඇති අතර, එම සාක්ෂි මත පදනම්ව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
රැදවියන් 14ක් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්.. ජේලර්ලාට වෙඩි වැදී නෑ.. මියගොස් ඇත්තේ පහරදීමෙන්..- මරණ පරීක්‍ෂණයෙන් හෙලිවේ..
2026-07-09T23:32:00+05:30
Gossip Lanka Hot News






