ඉන්ධන සහනාධාරය මේ මාසෙන් අවසන්... සංස්ථාවට දැනටත් පාඩුයි... තෙල් මිල ගැන තීරණයක් තාම නෑ - සභාපති
ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා රජය වෙන් කරන ලද ප්‍රතිපාදන ජුනි මාසයෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ජනක රාජකරුණා මහතා අනාවරණය කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටිමින් ඔහු මේ බව සඳහන් කළේය.
සභාපතිවරයා ප්‍රකාශ කළ පරිදි, අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයකට රුපියල් 100 ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක සහනාධාරයක් රජය විසින් ලබා දෙයි.
මේ වෙනුවෙන් අප්‍රේල් මාසය සඳහා පමණක් රුපියල් බිලියන 15.3 ක මුදලක් වැය වී ඇති බවත්, මුළු සහනාධාර මුදල රුපියල් බිලියන 20 ක් පමණ වන බවත් එහිදී අනාවරණය විය.
කෙසේ වෙතත්, වත්මන් ප්‍රවණතාව අනුව ජුනි මාසය අවසන් වන විට මෙම සහනාධාර මුදල් අවසන් වනු ඇති අතර, ජුනි මාසයෙන් පසු සහනාධාරය දිගටම පවත්වාගෙන යාම පිළිබඳව රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සභාපතිවරයා අවධාරණය කළේය.
රජය රුපියල් 100 ක සහනාධාරයක් ලබා දුන්නද, අප්‍රේල් මාසයේ දත්ත අනුව ඩීසල් ලීටරයකින් සංස්ථාවට සිදුවන සම්පූර්ණ අලාභය රුපියල් 129 කි. රජයේ සහනාධාරයෙන් පසුවද සංස්ථාව තවමත් ඩීසල් ලීටරයකින් රුපියල් 29 ක අලාභයක් විඳින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ඉන්ධන මිලදී ගැනීම සඳහා විදේශ විනිමය සොයා ගැනීමේදී මතු වූ ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
විශේෂයෙන් වෙළඳපොළේ ඩොලර් හිඟ වූ අවස්ථාවලදී මහ බැංකුවේ මැදිහත්වීමෙන් ඩොලරය රුපියල් 350 ට නොවැඩි මට්ටමකින් ලබා ගැනීමට කටයුතු කළ බව සභාපතිවරයා පැවසීය.
මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේ සංස්ථාව විසින් සැලසුමකින් තොරව වරකට ඩොලර් මිලියන 50 ක් වැනි විශාල මුදලක් වෙළඳපොළෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා විනිමය අනුපාතය ඉහළ යන බවයි.
මෙලෙස ඩොලර් මිල ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් සමස්ත ජනතාවම පීඩාවට පත්වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
දැනට පවතින සැලසුම අනුව දිනකට ඩොලර් මිලියන 11 බැගින් බැංකු හරහා ලබා ගැනීමට කටයුතු කරන බව සංස්ථා සභාපතිවරයා මෙහිදී පිළිතුරු දෙමින් කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
ඉන්ධන සහනාධාරය මේ මාසෙන් අවසන්... සංස්ථාවට දැනටත් පාඩුයි... තෙල් මිල ගැන තීරණයක් තාම නෑ - සභාපති
2026-06-13T10:08:00+05:30
Gossip Lanka Hot News





