අත්අඩංගුවට ගන්නැතැයි පොරොන්දු වෙන්න බෑ... විනිසුරුවෙක් ඉවත් වේ... ගෝඨාගේ බලාපොරොත්තුව කල් යයි
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම හෙට (18) දින සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
මෙම පෙත්සම අද පස්වරු 1.30 ට සලකා බැලීමට නියමිතව තිබුණද, අදාළ පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නිසි පරිදි සම්පූර්ණ වී නොතිබීම හේතුවෙන් එය හෙට දින දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගත්තේය.
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නා බවට වගඋත්තරකරුවන්ගේ උපදෙස්වලින් තොරව පොරොන්දුවක් දිය නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අද (17) අධිකරණයට දැනුම් දුන්නාය.
පාස්කු ප්‍රහාර විමර්ශන හේතුවෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින් ඊයේ (16) ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියාය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී දැනුම් දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් වහාම අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, අදාළ නඩු ලේඛන තමන් වෙත ලැබුණේ අද උදෑසන බැවින් වගඋත්තරකරුවන්ගෙන් මෙතෙක් උපදෙස් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු බව සඳහන් කළාය.
වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් නොලැබුණද, පෙත්සම්කරුව අත්අඩංගුවට නොගන්නා බවට ස්ථාවර ප්‍රකාශයක් (ප්‍රතිඥාවක්) දීමට නීතිපතිවරයාට බලය ඇති බව රොමේෂ් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. එහෙත්, නිසි උපදෙස් ලබා ගැනීමකින් තොරව එවැනි වගකීමක් අධිකරණය හමුවේ බාරගත නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නැවතත් අවධාරණය කළාය.
අත්අඩංගුවට ගන්නැතැයි පොරොන්දු වෙන්න බෑ... විනිසුරුවෙක් ඉවත් වේ... ගෝඨාගේ බලාපොරොත්තුව කල් යයි
2026-06-17T15:55:00+05:30
Gossip Lanka Hot News





