gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් වීරවංශට එරෙහිව ධම්මිකගේ හේලීස් සමාගම වාරණ නියෝගයක් ලබාගනී!

කීර්තිනාමයට හානිවන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදුකළේ යැයි පවසමින් හේලීස් පී.එල්.සී. (Hayleys PLC) සමාගම විසින් ගොනුකරන ලද පැමිණිල්ලකට අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාරික ජාලයන්ගෙන් එකක් වන හේලීස් පී.එල්.සී. සමාගම සිය පැමිණිල්ල මඟින් කියාසිටින්නේ, තමන්ට ශ්‍රී ලංකාව තුළ මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ඉහළ කීර්තිනාමයක් පවතින බවත්, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය රටේ පිළිගත් සම්භාවනීය පුද්ගලයන්ගෙන් සමන්විත වන බවත්ය.

මෝටර් රථ, බලශක්ති, කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ක්‍රියාත්මක වන හේලීස් සමාගම, මෙරට ජනතාව අතර ඉහළ විශ්වාසයක් දිනාගත් සන්නාමයක් බව ද එහි දක්වා ඇත.

එවැනි පසුබිමක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන විත්තිකරු විසින් 2026 වසරේ පෙබරවාරි, අප්‍රේල් සහ මැයි යන මාසවලදී අවස්ථා හතරකදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනක් හරහා සෘජුව හෝ වක්‍රව හේලීස් සමාගම පිළිබඳව අසත්‍ය, පදනම් විරහිත සහ අපහාසාත්මක ප්‍රකාශ සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

එහිදී හේලීස් පී.එල්.සී, කිංස්බරි පී.එල්.සී, හේලීස් මෝටර් රථ අංශය, එහි ජෙට්ස්ටාර් (Jetstar) නියෝජිත ආයතනය, ලොජිස්ටික්ස් අනුබද්ධිත සමාගම, පුනර්ජනනීය බලශක්ති අනුබද්ධිත ආයතන සහ මෑතකදී සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයට පිවිසි හේලීස් රිටේල් (Hayleys Retail) ආයතනය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව පැමිණිලිකාර පාර්ශවය පෙන්වාදෙයි.

මීට අමතරව, විත්තිකරු විසින් පැමිණිලිකාර සමාගමේ නම සෘජුවම සඳහන් කරමින් හෝ එහි අනුබද්ධ සමාගම්, සභාපති හෝ සම-සභාපතිවරයා හඳුන්වාදෙමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කර ඇති බවත්, එමඟින් සමාගමේ කීර්තිනාමයට දිගින් දිගටම කැළලක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

පැමිණිල්ලට අනුව, 2026 මැයි 25 දින හෝ ඒ ආසන්න දිනකදී විත්තිකරු වෙත එන්තරවාසියක් යවා තිබේ.

එහෙත් එම එන්තරවාසිය ලැබීමෙන් පසුව පවා, විත්තිකරු අදාළ රූපවාහිනී වැඩසටහනට පැමිණ, පැමිණිලිකාර සමාගමේ සහ එහි අනුබද්ධ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් සඳහන් කරමින් දිගින් දිගටම අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ සිදුකර ඇත.

මෙවැනි තත්ත්වයක් තුළ, විත්තිකරු විසින් සිදුකරනු ලබන මෙම අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ තවදුරටත් ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් නියෝගයක් ලබා නොදුන්නහොත් තමන්ට පියවිය නොහැකි විශාල හානියක් සිදුවන බව හේලීස් සමාගම පවසයි.

මේ හේතුවෙන් අදාළ වාරණ නියෝගයට අමතරව, සිය සමාගමේ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 6ක වන්දියක් විත්තිකරුගෙන් අය කර දෙන ලෙස ද පැමිණිලිකාර සමාගම අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඉදිරිපත් වූ කරුණු සහ කරුණු දැක්වීම් සලකා බැලූ කඩුවෙල දිසා අධිකරණය, විමල් වීරවංශට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

ඒ අනුව, පැමිණිලිකාර සමාගමට අදාළව මෙතෙක් සිදුකරන ලද ප්‍රකාශ නැවත පළකිරීම හෝ පැමිණිලිකරු සම්බන්ධයෙන් කිසිදු අසත්‍ය, නොමඟ යවනසුලු හෝ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම, ප්‍රසිද්ධ කිරීම, ප්‍රචාරය කිරීම සහ මහජනතාව වෙත සන්නිවේදනය කිරීම වළක්වමින් මෙම නියෝගය පනවා ඇත.

මෙම නඩුව නැවතත් 2026 ජූනි මස 23 වැනිදා අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

නීතිඥ චානුක ඒකනායකගේ උපදෙස් පරිදි, ශෙනාලි ඩයස් සහ ඉෂාරා ජයකොඩිතන්ත්‍රි යන නීතිඥවරුන් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න පැමිණිලිකාර හේලීස් සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka