gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ නඩුව විභාග කිරීමකින් තොරවම ඔවුන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය දුන් නියෝගය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය.

ඒ අනුව, චූදිතයන්ට සහ චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති මෙම නඩුව තවදුරටත් පවත්වා ගෙන යා හැකි බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස ද නියෝග කර ඇත.

නඩුවේ ස්වරූපය
2015-2016 කාලසීමාවේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසිවලදී රජයට අයත් රුපියල් බිලියන 36.98කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

මෙහි ප්‍රධාන චූදිතයන් ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ඇතුළු 11 දෙනෙකු නම්කර තිබිණි.

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ලවූයේය.

ත්‍රිපුද්ගල මහාධිකරණයේ තීන්දුව
විත්තිකරුවන්ට එරෙහිව නීතිපති විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ලබාදීම සඳහා එය 2022 මාර්තු 04 වනදා දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවරු විසින් මෙම බහුතර තීන්දුව ලබාදී තිබුණි.

බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත, පොදු දේපළ පනතේ 07 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කළ හැක්කේ ස්වභාවික පුද්ගලයින්ට පමණක් බව සඳහන් කර තිබිණි.

එහෙත් මෙම නඩුවේ විත්තිකාර පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම ස්වභාවික පුද්ගලයෙකු නොවන හෙයින් ඊට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනාවක් පවත්වාගෙන යා නොහැකි බව විනිසුරු තීරණය කර තිබිණි.

ඒ අනුව එම සමාගමට එල්ලවී තිබෙන චෝදනාවලට සම්බන්ධ වී පවතින විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ චෝදනාද පවත්වාගෙන යාමට නොහැකි බව විනිසුරු නඩු තීන්දුවෙන් ප්‍රකාශ කර තිබිණි.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ පැමිණිල්ල විසින් ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා හැකි බවය.

ප්‍රතික්ෂේප වූ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම
මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙම නඩු තීන්දුව පිළිබඳව අධ්‍යයනය කර පියවර ගැනීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබිණි.

එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ හිටපු ඇමති රවී කරුණානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය විසින් පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට දුන් තීරණයත් සමගම සමස්ත අධිචෝදනා පත්‍රයම පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වන බව සඳහන් කර තිබේ.

මෙම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට නීතිපතිට හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇති ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ඒ අනුව එය ඉල්ලා අස්කර ගත යුතු බව පවසා ඇත.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව අධ්‍යයනය කර තීරණයක් ගන්නා තුරු මෙම නඩු විභාගය කල් තැබීම සදාචාරාත්මක නොවන බව සඳහන් කළ සභාපති විනිසුරු දමිත් තොටවත්ත ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව මෙම නඩුවේ සෙසු චෝදනාවලට අදාළ විභාගය පැවැත්වීම සඳහා “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය” සඳහා 2022 මැයි මස 04 වනදා කැඳවන ලෙස නියෝග කර තිබිණි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අභියාචනය 
නමුත්  විභාගයකින් තොරවම චූදිතයන් නිදහස් කිරීමට හේතු වූ එම තීන්දුවට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරන ලදී.

නීතිපතිවරයාගේ අභියාචනය පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළේ මහාධිකරණයේ එම නිගමනය සම්පූර්ණයෙන්ම වැරදි බවය. මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ අඩපණ වී තිබූ බැඳුම්කර වංචා නඩු විභාගය නැවත වරක් සක්‍රීයව ආරම්භ කිරීමට මඟ පෑදී තිබේ.
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka