Oxford නාමල්ගෙන් සමාව අයදී!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) ඇමතීමට නියමිතව තිබූ අවස්ථාව, ආරක්ෂක හේතූන් මත පසු දිනෙක පවත්වන බවට එම සංගමය දැනුම් දී තිබේ.
අදාළ දේශනය පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් සමාව අයැද සිටින ඔක්ස්ෆර්ඩ් සංගමය, පැමිණ සිටින පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පවසයි.
එදින මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දැඩි ආරක්ෂක සහ මෙහෙයුම් අවදානමක් පවතින බවත්, මහා පරිමාණ විරෝධතා සහ බාධා කිරීම් සිදුවන බවට විශ්වාසකටයුතු තොරතුරු ලැබී ඇති බවත් සංගමය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා ඇත.
ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති කැතරින් යැං (Katherine Yang) මහත්මිය විසින් රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද විද්‍යුත් පණිවුඩයේ මෙසේ සඳහන් වේ.
"පවතින අවදානම් තක්සේරුවට අනුව, අමුත්තන්ගේ, දේශකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යෙදීම අදාළ ස්ථානයේ පවතින සීමාවන් තුළ ප්‍රායෝගිකව සිදුකළ නොහැකි මට්ටමක පවතී. එම උපදෙස් මත පදනම්ව සහ සහභාගී වන පිරිසගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් වූ අපගේ වගකීම පෙරදැරිව, මෙම වැඩසටහන වඩාත් ආරක්ෂිතව පැවැත්විය හැකි අනාගත දිනයක් දක්වා කල් තැබීමට අප තීරණය කර ඇත."
කේම්බ්‍රිජ් (Cambridge) සහ ඔක්ස්ෆර්ඩ් (Oxford) යන සංගම් දෙකෙහිම ආරාධනයකට අනුව නාමල් රාජපක්ෂ මහතා මේ වන විට එක්සත් රාජධානියේ රැඳී සිටියි.
කෙසේ වෙතත්, දමිළ ඩයස්පෝරා කණ්ඩායම්වල දැඩි විරෝධතා හේතුවෙන් අදාළ ආරාධිත දේශන මෙලෙස ප්‍රමාද වීමට හේතු වී ඇති බව වාර්තා වේ.
Oxford නාමල්ගෙන් සමාව අයදී!
2026-02-24T12:55:00+05:30
Gossip Lanka Hot News






