කඩුගන්නාවේ කළුගලට යටවූ පහක් මරුට (Video)
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ තේ කඩයක් මතට කඩාවැටුණු විශාල ගල් පර්වතයට සහ පස් කන්දට යටවීමේ මේ වන විට පස් දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි. මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බව පොලිසිය කියයි.
එම නිවස තුළ සිරව සිටින තවත් පිරිසක් මුදවා ගැනීම සඳහා මේ වන විට මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එම නිවස තුළ තවත් තිදෙනකුට ආසන්න පිරිසක් සිරව සිටිය හැකි බවයි.
මේ අතර පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ නුවර මාර්ගය (ඒ 09) නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බවත් එම මාර්ගය භාවිතා කරන්නන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මහජනතාවට දැනුම් දුන්නේය.
එම කන්දේ ඉහල කොටසේ තවත් අස්ථාවර අවදානම් ගල් කිහිපයක් තිබෙන බැවින් එම ගල් ඉවත් කොට එම ස්ථානයේ ස්ථාවර කරන තුරු මාර්ගය වසා දැමෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.
(ෂේන් සෙනෙවිරත්න)
කඩුගන්නාවේ කළුගලට යටවූ පහක් මරුට (Video)
2025-11-22T17:20:00+05:30
Gossip Lanka Hot News





