ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයෙකු මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්කරමින් රනිල් වික්‍රමසිංහ අද (22) මූල්‍ය අවභාවිතාවක් මත අත්අඩංගුවට පත්ව තිබේ.
2023 සැප්තැම්බර් මස සිදු කළ ලන්ඩන් නුවර සංචාරයට ඔහු අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පුද්ගලික ගමනක් යාම නිසාය.
මේ ගමන ගැන මින් ඉහත කරුණු ප්‍රසිද්ධ වූ අවස්ථාවල රනිල් වික්‍රමසිංහ කාර්යාලය පවා චෝදනා ප්‍රතික්ෂේප කරමින් එය රාජ්‍ය තාන්ත්‍රික ගමනක කොටසක් යයිද වියදම් කරේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යයිද කියා තිබුණි. අද දින සීඅයිඩී ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ජනපතිවරයාද එසේ කියා තිබූ නමුත් එම කරුණු ඔප්පු කරන්නට බැරිව සිරවූ බව වාර්තාවේ.
ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දත්ත අනුව එවැනි ගමනක් සදහා කිසිදු සම්බන්ධීකරණයක් හෝ වියදමක් සපයා නැති අතර කිසිදු රාජ්‍ය තන්ත්‍රික හමුවක් සිදු කර නැති බවට තහවුරු කළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැස් කරගෙන තිබේ.
වාර්තාවන ආකාරයට මෙම ගමන සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා.
ජනාධිපති වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩී එම් බී එස් විජයපාල, ජනාධිපති පෞද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් බී එම් ඒ එන් එස් ආරියරත්න, සන්ධාන නිලධාරි ඒටී කෝසල පෙරේරා, ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරි පීඑන් ගුරුගේ හා ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයිඑම්ටී ආර් දෙල්ගොඩ යන 10 දෙනෙකුගෙන් සමන්විත පිරිස සහභාගි වී තිබේ.
එම ලන්ඩන් සංචාරය සඳහා පමණක් වියදම් කර ඇති මුදල කොතෙක්ද යන්න පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති ලේඛන අනුව වෙන්කර කිව නොහැකි අතර එම ලන්ඩන් සංචාරයට පෙර සිදු කළ කියුබාවේ ජි 77 හා චීනය රාජ්‍ය නායකයන්ගේ සමුළුව සහ ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සහභාගි වීම යන එක් අවස්ථාවක සිදුකර ඇති විදේශ සංචාර තුනේම මුළු වියදම වශයෙන් දළ වශයෙන් රුපියල් මිලියන 224 ක (රු. 224,885,494.36) මුදලක් බව සඳහන් කර තිබේ.
එහිදී ජනාධිපති කාර්යාලය දළ වශයෙන් රුපියල් මිලියන 126 ක් (රු.126,.666,759.17), විදේශ කටයුතු අමාත්‍යාංශය දළ වශයෙන් රුපියල් මිලියන 76ක් (රු. 76,025,578.18), ශ්‍රී ලංකා පොලීසිය දළ වශයෙන් රුපියල් මිලියන 20ක් (රු. 20,004,760.49 ) හා ශ්‍රී ලංකා නාවික හමුදාව දළ වශයෙන් රුපියල් මිලියන 2 ක් (රු. 2,188,396.52) වශයෙන් එම මුළු එකතුව සඳහා වැය කර ඇත.
එහෙත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එම ලන්ඩන් සංචාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සභානායක ඇමති බිමල් රත්නායක මින් ඉහත කීවේ ඒ සඳහා 2023 වර්ෂයේදී සිදුකර ඇති වියදම බ්‍රිතාන්‍ය පවුම් 40,445 ක් වී ඇති බවත්,එම මුදල් ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ ගෙවා ඇති බවත්ය.
රනිල් ජනපති සමයේ සිදුකළ සංචාර 33 කින් 31 ක් රාජ්‍යතාන්ත්‍රික වන අතර 2 ක් පුද්ගලික ඒවා බව දැන් කරුණු අනාවරණය වෙමින් පවතී එකක් ඉහත සදහන් ලන්ඩන් සංචාරය බවත් ඊට අමතරව 2023 මැයි මස සිංගප්පූරුවේ සංචාරයද රාජ්‍ය වියදම් දරමින් කළ පුද්ගලික එකක් බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ සංචාරය සදහාද රනිල්ගේ බිරිය මෛත්‍රී සහභාගී කරගෙන තිබුණි.