අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘කොමාන්ඩෝ කණිෂ්ක කුමාර’ සහ ඉමේෂ් චතුරංග නමැති සැකකරුවන් ඝාතනය කිරීම සඳහා යොදා ගැනීමට සඟවාගෙන තිබූ සයිනයිඩ් කුප්පියක් සොයාගැනීමට එම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන් සමත් වුනේය.
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ E-4 සිර අංශයේ පසුගිය 17 වැනිදා සිදු කළ සෝදිසි කිරීමකදී මෙම සයිනයිඩ් කුප්පිය සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත් වූහ.
විමර්ශනවලදී හෙළි වන්නේ මෙම සයිනයිඩ් කුප්පිය බන්ධනාගාරය තුළට පිටතින් ගෙනැවිත් ඇත්තේ විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ‘කුඩු සලිඳු’ගේ උපදෙස් මතය. ඔහුගේ ගෝලයකු වන විමුක්ති නමැත්තා මෙම කටයුතු හසුරුවා ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇත.
බන්ධනාගාර ආරංචි මාර්ග කියන්නේ එම සැකකරු තරිඳු මධුසංක නමැති තවත් සැකකරුවකුට මෙය ලබා දී ඇති බවය. බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂා කරන අවස්ථාවේදී තරිඳු මධුසංඛ නැමැත්තා සතුව තිබී මෙම සයිනයිඩ් කුප්පිය සොයාගෙන තිබිණි.
ඝාතනය කරන්නට නම් කළ කොමාන්ඩෝ කණිෂ්ක කුමාර සහ ඉමේෂ් චතුරංග නමැති සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය චෝදනා මත අගුණුකොළපැලැස්ස සහ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ මඟින් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියම කළ අය වේ. බන්ධනාගාරය තුළට ගෙන ආ මෙම සයිනයිඩ්, පරීක්ෂා කිරීමට මෙම පිරිස කටුස්සෙක් අල්ලාගෙන ඌට එන්නත් කර ඇති අතර, එම ස්ථානයේදීම කටුස්සා මියගොස් ඇති බව අනාවරණය වේ.
ඒ අනුව මෙම සයිනයිඩ් විෂ රසායනික ද්‍රව්‍ය සන්තකයේ තිබූ බව කියන තරිඳු මධුසංක නමැත්තාගෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට මෙම 06 වැනිදා රැගෙන ආ විමුක්ති නමැති සැකකරු බන්ධනාගාරගත කරන අවස්ථාවේදී සූක්ෂ්ම ලෙස සඟවාගෙන මෙම විෂ රසායනිකය රැගෙන විත් තමන් හට ලබා දුන් බවය.
ඒ අවස්ථාවේදී විමුක්ති විසින් එම සිර වාට්ටුවේ සිටින තවත් සිරකරුවකු පෙන්වා ඔහුට මෙම විෂ රසායනිකය මඟින් ජීවිත හානියක් සිදු කළහොත් තමන්ට රුපියල් 1,000,000 ක මුදලක් ලබා දෙන බව පැවසූ බවත් තරිඳු මධුසංක නමැති සැකකරුවා බන්ධනාගාර බලධාරීන් හමුවේ පවසා තිබේ.
එහෙත්, ඝාතනය කිරීමට නම් කළ සැකකරුවකු වූ කණිෂ්ක කුමාර නමැත්තා පසුගිය 16 වැනිදා වෙනත් නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ඒම නිසා ඔහු ඝාතන තැත වැරදී යන්නට ඇති බව බන්ධනාගාර නිලධාරීන් සැක පහළ කරයි.
මේ අනුව අනෙක් සැකකරුද අඟුණුකොළපැලැස්ස බන්ධනාරයේ වෙනත් සිර වාට්ටුවකට මාරුකර යැවීමට බන්ධනාගාර පාලනාධිකාරිය මේ වනවිට කටයුතු යොදා තිබේ. එමෙන්ම සයිනයිඩ් විෂ රසායනික ද්‍රව්‍ය සියල්ලම බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්ද යන්න සැක සහිත බැවින් ඒවා සන්තකයේ තිබූ තරිඳු මධුසංක නමැති සැකකරු එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ වෙනම රඳවා තැබීමටද බන්ධනාගාර අධිකාරිය කටයුතු යොදා ඇත.
මියගිය කටුස්සාගේ සිරුර අඟුණුකොළපැලැස්ස පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දීමෙන් පසු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන්ගේ සහය ඇතිව මෙම සෝදිසි මෙහෙයුම දියත් කර ඇත. ( බුද්ධිකා ඉඹුලාන – දිනමිණ)