හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතන සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයකට සම්බන්ධ බව කියමින් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එවක ගම්පහ පොලිස් අධිකාරීවරයකු වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කුරේ මහතා වධ හිංසනයට භාජනය කර අත්අඩංගුවේ රඳවා තැබීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්.ඩී. නවාස් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් මත බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී මෙම පොලිස් අධිකාරිවරයා නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් 2010 වසරේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අදාළ පෙත්සම විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 13 (2) යන ව්‍යවස්ථාවලින් සහතික කර තිබෙන පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් වග උත්තරකාර පොලිස් නිලධාරීන් විසින් උල්ලංඝනය කර ඇති බවය.
ඒ වෙනුවෙන් රජය විසින් රුපියල් 30,000/- ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් අධිකරණය නියෝග කළේය.
ඊට අමතරව පෙත්සම්කරු වධ හිංසනයට භාජනය කළ බවට චෝදනා එල්ල වී ඇති ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂ තුන බැගින්ද, තවත් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ පුද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂ දෙක බැගින්ද පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව 2009 වසරේ අගෝස්තු මස 12 වැනිදා ත්‍රස්ත මර්දන කාර්යාංශය මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් මෙම පොලිස් අධිකාරිවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව පෙත්සම්කාර පොලිස් අධිකාරිවරයා වසර 14 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බවටත් නඩු විභාගයේදී ප්‍රකාශ වී තිබේ.
වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු අද (27) සිට එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.