ප්‍රමිතියෙන් තොරව නීති විරෝධී ලෙස නිශ්පාදනය කරනු ලැබූ කොන්ක්‍රීට් වැර ගැන්වීම සඳහා භාවිත කරනු ලබන නාරටි වානේ දඬු ටොන් 400ක් ගබඩා කර තිබූ මීගමුවේ ගබඩාවක් වටලා එම වානේ තොගයක් අනාවරණය කරගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
කොන්ක්‍රීට් වැර ගන්වන දඟර වානේ, සරල වානේ ඇතුළු වානේ දඩු සහ කම්බි සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් 2008 ජනවාරි 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත්කර තිබිය දී ප්‍රමිතියෙන් තොර මෙම වානේ තොගය කහතුඩුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නිපදවා එම නිශ්පාදන එදිනම මීගමුවේ මෙම ගබඩාවට රැගෙන එන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ තරගකාරිත්ව ප්‍රවර්ධන අංශයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබිණි.
ලැබුණු තොරතුරක් ප්‍රකාරව දින ගණනක් කළ විමර්ශනයකින් අනතුරුව කම්හලෙන් පිටවන වානේ කම්බි සහිත ලොරි රථයක් හඹා යමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් මෙම ගබඩාව අනාවරණය කරගෙන ඇත.
අදාල ගබඩාව පසුගිය 06 වන දින වැටලීමෙන් අනතුරුව එම ස්ථානයෙහි ගබඩාකර තිබූ දළ වශයෙන් ටොන් 400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති මිලියන 100ට වඩා වැඩි වෙළෙඳපල වටිනාකමක් සහිත මෙම වානේ තොගය දී අනාවරණය කරගෙන ඇත.
අදාල වැටලීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තාකර ඇති බවත් ඉදිරි විමර්ශන කටයුතුවලින් පසු නඩු පැවරීමට නියමිත බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
